විනය කැඩුවොත් ක්‍රීඩකයාට මෙන්ම පාලකයාටත් සමාවක් දෙන්නේ නෑ!

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සියවස් සමරුවට සමගාමීව උත්සව රැසක් සංවිධාන වෙයි. ලබන ජනවාරි මස 22 දිනට ශ්‍රී ලංකාව අන්තර්ජාතික මට්ටමට එක් වූ ආසියාවේ තුන්වැනි රට බවට පත් වී වසර 100ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් විශේෂ වැඩ සටහන් රැසක් සංවිධාන කොට ඇතැයි ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා සඳහන් කළේය. සියවස් සමරුවට සමාන්තරව ජනවාරි 22 දා අර්ධ මැරතන් තරගයක්, අප්‍රේල් 7 දා සමරු මුද්දරය එළිදැක්වීමේ උලෙළක්, දකුණු ආසියා මලල ක්‍රීඩා කවුන්සිල රැස්වීම හා විශේෂ සමරු උත්සවයක් පැවැත්වීම, අප්‍රේල් 8 සිට 10 දක්වා විදෙස් ක්‍රීඩක ක්‍රීඩකයන්ගේ සහභාගීත්වයෙන් මලල ක්‍රීඩා ශූරතාවලියක් පැවැත්වීම, මැයි 2 වැනිදා සිට 5 වැනිදා දක්වා කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය සංවිධාන කිරීම, මැයි 19 හා 20 දෙදින තුළදී දකුණු ආසියා කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය කොළඹදී පැවැත්වීම හා ප්‍රදර්ශනාත්මක රිටි පැනීමේ ඉසව්වක් සැණකෙළි ස්වරූපයෙන් සංවිධාන කිරීම සිදු වේ.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සියවස් සමරු නිල ලාංඡනය එළිදැක්වීම ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා කොළඹදී සිදු වූ අතර එම අවස්ථාවට එක් වූ ඇමැතිවරයා පැවසුවේ විනය කඩ කරන ක්‍රීඩකයන්ට මෙන්ම විනය කඩ කරන ක්‍රීඩා පරිපාලකයන්ට එරෙහිව උපරිම දඬුවම් දීමට තමන් පසුබට නොවන බවයි. ක්‍රීඩකයා කෙතරම් දක්ෂ වුවද අන්තර්ජාතික මට්ටමේ ජයග්‍රහණ අත් කර ගෙන තිබුණද, යම් අවස්ථාවකදී විනය කඩ කර ඇති බවට ඔප්පු වුව හොත් කිසිදු සමාවක් නොදෙන බව ඇමැතිවරයා අවධාරණය කළේය. “විනය නැතිව ක්‍රීඩාව ඉදිරියට යන්න බෑ. මුලින්ම විනය ආරක්ෂා කිරීමට ක්‍රීඩකයා හා පරිපාලකයා කටයුතු කිරීම වැදගත්. එහෙම නොවුණොත් මගෙන් සමාවක් නෑ” නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

“ලබන වසරේදී කොළඹ ටොරින්ටන් ක්‍රීඩා පිටිය සඳහා කෘත්‍රිම ධාවන පථයක් එළිමේ කටයුතු ආරම්භ කරනවා. මලල ක්‍රීඩාවට අන්තර්ජාතික මට්ටමේ තිබුණේ සුගතදාස ක්‍රීඩාංගණය පමණයි. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිතුමා වී සිටියදී දියගම අන්තර්ජාතික ක්‍රීඩාංගණයක් හැදුවා. ටොරින්ටන් ක්‍රීඩා පිටියට කෘත්‍රිම ධාවන පථයක් එක් කළාම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුහුණු වීමේ අවස්ථා හොඳින් ලැබෙනවා. ඒ වගේම රට වටේ තවත් සින්තටික් ධාවන පථ ඉදි කිරීමට අප කටයුතු කරනවා. ඊළග අවුරුදු 5 තුළ යාපනයේ මංතීරු 9ක හා මහනුවර මංතීරු 6ක ධාවන පථ ඉදිවෙනවා. ඒ වගේම විසි කිරීමේ ඉසව් වෙනුවෙන්ම දියගම වෙනම ක්‍රීඩා සංකීර්ණයක් ඇති කිරීමට කටයුතු කරනවා” ඇමැතිවරයා පැවසීය.

“මේ වන විට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 60කට වැඩි ප්‍රමාණයක් සංචිත ගත කොට තිබෙනවා. ක්‍රීඩා අමාත්‍යාංශය මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා පිළිබඳ හොඳ පසු විපමරමක් කරනවා. අප සාම්ප්‍රදායික ක්‍රමවේදයන්ගෙන් තොරව කාලෝචිත සහයෝගයක් දෙනවා. ලෝකයේ සිදු වන තාක්ෂණික වෙනසත් සමඟ එයට අනුගත වෙමින් ඉදිරියට යෑම අවශ්‍යයි. ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඒ සඳහා යොමු කළ යුතුයි. මෙයට පෙර ක්‍රීඩකයන් විදෙස්ගත කරන්නට වෙනදා සංගමය ක්‍රීඩා අමාත්‍යාංශයට එනවා. එහෙත් අද ක්‍රීඩා අමාත්‍යාංශය දක්ෂයන් සොයා දෙන ලෙස ඉල්ලමින් සංගමය පසු පස එනවා. මෙයයි අලුත් වෙනස” ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

 398 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply