ඉතිහාසගත ගල්කිස්සේ ප්‍රේමණීය අන්දරය…

ගල්කිස්ස මහ හෝටලය එසේත් නැතිනම් මවුන්ට් ලැවීනියා හෝටලය මෙරට පමණක් නොව ලෝකයේ බොහෝ සංචාරකයන් අතර ප‍්‍රසිද්ධියට පත් ප‍්‍රතාපවත් මන්දිරයකි. එම ගොඩනැඟිල්ලේ ගෘහ නිර්මාණ ශිල්පයත්, උරුමයත්, ඉතිහාස කතාවත්, ඕනෑම දෙස් විදෙස් පුද්ගලයෙකුගේ සිත් සතන් ඇදබැඳ තබාගන්නා ස්ථානයක් වී ඇත. මෙම මන්දිරය ඉදිවීමට හේතු පාදක වූයේ ලාංකික කතක් හා බි‍්‍රතාන්‍ය ජාතිකයකු අතර ඇති වූ ආදර කතාවක් හේතුවෙනි. එමෙන්ම එහි ඇති උමං මාර්ගය කුප‍්‍රකට රහසකි. කොළඹ සිට ගාල්ලට මුහුදු බඩ දුම්රියෙන් ඔබ ගමන් කරන්නේ නම් ගල්කිස්ස මහ හෝටලය අසලින් ගමන් කරනුයේ එම උමං මාර්ගය මතිනි. මෙම උමං මාර්ගය මෙන්ම මෙම ගල්කිස්ස හෝටලය ඉදි කෙරුණේ ක‍්‍රි. ව. 1805 මෙරටට පැමිණි දෙවන ඉංගී‍්‍රසි ආණ්ඩුකාරවරයා වන තෝමස් මෙට්ලන්ඞ් විසිනි.

මෙහි ඉතිහාස කතාව සලකා බැලීමේදී මෙම ආණ්ඩුකාරවරයා මෙරටට පැමිණෙන විට ඉතා ඉහළ මට්ටමේ විවිධ දේශීය සංස්කෘතිකාංග, නැටුම් ගැයුම් සහිත සාදයක් ඔහු වෙනුවෙන් සංවිධානය කර තිබුණු බවයි. එහිදී රොඞී කුලයේ තරුණියන් කිහිප දෙනෙකු ඔහු ඉදිරියේ රංගනයේ යෙදුණි. ඒ අතර සිටි එක් සුරූපී තරුණියක් පිළිබඳ ඔහුට සිතක් පහළ වී ඇත. ඇය ලොවීනා අපොන්සුය. ඇය සිංහල රොඞී හා පෘතුගීසි මිශ‍්‍රනයකින් පැවත ආ කතකි. සිංහල කතුන්ගේ මෙන් තලෙළු හා දීප්තිමත් සමක් සහ තද කළු කෙස් කළඹ හා දුඹුරුවන් නෙත් සඟලක් ඇයට හිමි වී තිබිණි. ලොවීනා වයස අවුරුදු 16 ක අවිවාහක නව යොවුන් තරුණියක වූවාය. ආණ්ඩුකාරවරයාට වයස 46 කි. ඔහුද අවිවාහකයෙකි.

මෙට්ලන්ඞ් තම නිල නිවස ඉදිකිරීමට තෝරා ගනුයේ ලොවීනා සිටින රොඞී ගම්මානය අසල මීටර් 100 ක පමණ උස මුහුදෙන් වටවූ ගල්කිස්ස ප‍්‍රදේශයයි. ආණ්ඩුකාරයා හා රොඞී තරුණිය අතර පෙම් සබඳතාවයක් තිබීම ගැන රොඞී රැහේ උදවියත් සමස්ථ ලාංකිකයිනුත්, බි‍්‍රතාන්‍යය වැසියනුත්, සතුටට පත් නොවන නිසාවෙන් ඔහු සිය මැඳුර ඉදිකරන විට රහසිගත සැලැස්මක් සකස් කර ඇත. එනම් ඒ මැඳුරේ වයින් ගබඩාවේ සිට ලොවීනා සිටින රොඞී ගුබ්බෑයමේ ළිඳ අසලට රහස් උමං මාර්ගයක් තැනීමයි. පේ‍්‍රමවන්තයන් වූ මෙට්ලන් සහ ලොවීනා රහසිගතව මුණ ගැසීමට යොදාගත්තේ මෙම රහස් උමං මාර්ගයයි.

එකල රොඞී ස්ත‍්‍රින්ට උඩුකය වැසීමට අවසරයක් නොතිබුණි. ඔවුන්ගේ නිවාසවල දොර ජනෙල් පල දෙකකට පිඳුරු සෙවිලි කිරීමට අවසර නොතිබිණි. ඔහුගේ හා ඇයගේ එම අසම්මත පේ‍්‍රමය නිසා තම රොඞී ජනතාවගේ ඉල්ලීම් දිනාදෙන්නට ඇය සමත් වූවාය. ලොවීනා ආණ්ඩුකාරවරයා ලවා එම සියලූ තහනම් ඉවත්කිරීමට ක‍්‍රියා කළාය.

ඉතිහාසගත ගල්කිස්සේ ප්‍රේමණීය අන්දරය

නමුත් ලොවීනාගේ සහ ආණ්ඩුකාරවරයාගේ පේ‍්‍රමය සඟවාගෙන තබාගත හැකි වූයේ ටික කාලයක් පමණි. බි‍්‍රතාන්‍ය නිලධාරීන් විසින් ආණ්ඩුකාරවරයාගේ ක‍්‍රියාකලාපය එංගලන්තයේ තුන්වන ජෝන් රජතුමාට සැලකර තිබේ. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ඔහු ආණ්ඩුකාර ධූරයෙන් ඉවත් කොට රටෙන් පිටුවහල් කිරීමට අණ ලැබිණි. ලොවීනාට සමුදී ඔහු නැව් නගින විට තමන් කවදා හෝ පැමිණ ඇය රැගෙන යන බව ඇයට පොරොන්දු වී ඔහු රටෙන් පිටව යයි. පසුව මෝල්ටාවේ ආණ්ඩුකාර ධුරයට පත් මෙට්ලන්ඞ් වයස අවුරුදු 63 දී මිය යනුයේ අවිවාහකයෙක් ලෙසිනි. ලොවීනා තම පේ‍්‍රමවන්තයා අහිමි වූ කම්පාවට මුහුදට පැන සියදිවි හානිකරගත් බව ජනප‍්‍රවාදයේ සඳහන් වේ. සුන්දර ආදර කතාවක් අභාග්‍ය සම්පන්න ලෙස මෙසේ නිමවිණි.

‘‘සැබෑ පෙම්වතුන් කිසිදා එක් නොවේ. එක් වූ කිසිවෙකුත් පෙම්වතුන් වී ජීවත් නොවේ වෙන් වී ගියමුත් සදාකල් පෙම්වතුන් ලෙසම ජීවත් වෙයි.

මෙට්ලන්ඞ් ජෝන් රජුගෙන් ඉල්ලීමක් කර ඇත. එනම් ශ‍්‍රී ලංකාවේ ඔහු ජීවත් වූ මන්දිරයට තම පෙම්වතිය සිහිකිරීමට මවුන්ට් ලැවෙනියා ලෙස නම් තබන ලෙසයි. ඒ ඉල්ලීම ජෝන් රජු විසින් ඉටු කරන ලදී.

කලක් ආණ්ඩුකාර නිල නිවස වශයෙන් තිබුණු මෙම මන්දිරය දෙවන ලෝක යුද සමයේ හමුදා රෝහලක් ලෙස යොදාගෙන ඇති අතර කාලයාගේ ඇවෑමෙන් එය ගල්කිස්ස මහ හෝටලය බවට පරිවර්තනය වී ඇත.

මෙට්ලන්ඞ් විසින් ඉදිකළ උමං මාර්ගය වර්තමානයේදී ගල්කිස්ස මහ හෝටලයේ වයින් ගබඩාව අසල කොටසක් දක්නට ලැබෙන අතර උමගේ අනෙක් කෙළවර ගල්කිස්ස බෞද්ධ විද්‍යාලය අසල පිහිටා ඇත. ඓතිහාසික ස්ථානයක් වන මේ උමං මාර්ගය පසුව වසා දැමුවද මෙට්ලන්ඞ් ලැවේනියාගේ ආදර කතාව අදටත් ලොව පුරා ප‍්‍රචලිත සුන්දර ආදර කතාවකි. ඒ ඓතිහාසික ආදර කතාවට ඇලූම් කරන මිනිසුන් එහි අවශේෂ දැක බලාගැනීමට ගල්කිස්ස මහ හෝටලයට අද ද පැමිණෙති. මෙම හෝටලයේ ඉදිරියෙන් ඇති කාන්තා පිළිරුව ආණ්ඩුකාරවරයාගේ පෙම්වතිය ලැවේනියාගේ පිළිරුව බව ජනප‍්‍රවාදයේ සඳහන් වෙයි.

මෙට්ලන්ඞ් ලොවීනා පේ‍්‍රම කතාව ශෝක ජනක සිද්ධියක් වුවද ඒ නිසා ශ‍්‍රී ලංකාවට හිමි වූ මතකය, සිහිවටනය මිල කළ නොහැකි තරම්ය. මවුන්ට් ලැවීනියා අදත් හෙටත් මතුවටත් ලොවීනා සහ මෙට්ලන්ඞ් ගේ පේ‍්‍රම වෘතාන්තය සිහිගන්වමින් ලංකාව තුළ ජීවමාන වනු ඇත.

සුජානි ඉන්දිකා / www.divaina.lk

 2,924 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
5
+1
0
+1
0
+1
1
+1
0
+1
0

Leave a Reply