හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා ධීවර ඇමැතිවරයාව සිටියදී අත්තනෝමතිකව හා හිතුවක්කාරී ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, කළුතර නගර සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට රැකියා හා තනතුරු දී රජයේ මුදල් මිලියන ගණනින් වියදම් කළ බව ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ මහතා දේශපාලන පළි ගැනීම් විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඊයේ (9) පැවසීය. ඇමැතිවරයාගේ බිරිය වූ සුජාතා සේනාරත්න මහත්මියට සම්බන්ධීකරණ නිලධාරි තනතුරක්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට නීති සහකාර තනතුරක්, කළුතර නගර සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට රුපියල් පහළොස්දහසක මාසික වැටුපක් හා කළුතර ප්‍රදේශයේ පුද්ගලයින් රැසකට සම්බන්ධීකරණ හා උපදේශක තනතුරු දෙමින් මෙම මුදල් වැය කිරීම් කළ බව හෙතෙම හෙළි කළේය.

ධීවර වරාය නීතිගත සංස්ථාවේ රැකියා අත්තනෝමතිකව හා හිතුමනාපයේ දීම හේතුවෙන් එම පිරිසට වැටුප් හා වේතන ගෙවීමට මාසිකව රුපියල් මිලියන 40 ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් ගත් බව ද පැවසීය.

හිටපු ඇමැතිවරයාගේ හිතවතෙකු ධීවර වරාය සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ තනතුරකට පත් කරමින් ඔහුට වැටුපට අමතරව රුපියල් තිස්දහසක මුදල් ගෙවීමට නියෝග කළ බව ද පැවසීය.

පසුගිය මැතිවරණයට තරග කළ ඡන්ද අපේක්ෂකයකු මෙම පත්වීම්ලාභීන් අතර සිටි බව පැවසීය.

හිටපු ඇමැතිවරයා දේශපාලන බලපුළුවන්කාරකම් පෙන්වමින් සිය හිතවත් සමාගම්වලට සංස්ථා දේපොළ දීමට දන්වා සිටි බව ද, ඒ අනුව රජරට ඩ්‍රේඩින් නමැති සමාගමට පානදුර ධීවර වරායෙන් වැලි කියුබ් දසදහසක් දීමට නියෝග කළ බව ද කීවේය.

මාධ්‍ය හිමිකරු කොම්පැණියකට ත්‍රිකුණාමල ධීවර වරාය අංගණය බදු දෙන්න ක්‍රියා කළ හිටපු ඇමැතිවරයා ඔහුගේ වචනයට අවනත නොවන පුද්ගලයින් සේවයෙන් දොට්ට දැමීමට ක්‍රියා කළ බව ද පැවසීය.

නීතිඥ තුසිත මහතා අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දුන් උපාලි ලියනගේ මහතා මෙසේ ද පැවසීය.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ධීවර වරාය නීතිගත සංස්ථාවේ නීති සහකාර තනතුරක් දෙන්න කියලා ඇමැතිවරයා සඳහන් කැර තිබුණා. එවැනි තනතුරක් දෙන්න හිරුණිකා මහත්මියට සුදුසුකම් නොතිබූ නිසා රුපියල් 20,000 ක රැකියාවක් දෙන්න පුළුවන් කියලා කිව්වා. ඉතිරි රුපියල් 25,000 රාජිත ඇමැතිතුමාගෙන් ගන්නම් කියලා හිරුණිකා කිව්වා.

මේ වන විට සුජාතා සේනාරත්න මහත්මිය විශ්‍රාමිකව සිටියා. එතුමියට රුපියල් හැටපන්දහසක වැටුපක් සහිතව සම්බන්ධීකරණ තනතුරක් දුන්නා.

ප්‍රා‍දේශීය සභා හා නගර සභා මන්ත්‍රීවරුන්ට රුපියල් 15,000 ක් ගෙවන්න කිව්වා.

මේ මුදල් ගෙවන්න සංස්ථාවට ආදායම් තිබුණේ නැහැ. ඒ අනුව රුපියල් මිලියන 40 ක් පී. බී. ජයසුන්දර මහතාගෙන් ගන්න සිදු වුණා.

මේ අත්තනෝමතික ක්‍රියා ගැන මම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට කිව්වා. රාජිත ‍ඇමැතිතුමාගේ ක්‍රියාවලට මම එරෙහි වූ නිසා ඔහු දේශපාලනික වශයෙන් මගෙන් පළි ගන්න කටයුතු කළා. මීගමුව වෙරළ සංරක්ෂණ ක්‍රියාවලිය එතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වුණා. එහෙත් මට විරුද්ධව නඩු පැවරුවා.

වැඩිදුර සාක්ෂි විභාගය ලබන 17 වැනි දිනට නියම කෙරිණි.