‘අබාය’ ගැන සෞදි කුමරු කියූ ඇත්ත කතාව කුමක්ද?

ඉස්ලාමීය කාන්තාවන් පළඳින අබාය අනවශ්‍ය බව සෞදියේ ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් බින් සල්මාන් කුමරු පැවසු බවට මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්තියක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.

නමුත් සෞදි කුමරු මේ සම්බන්ධයෙන් ඇත්තටම ප්‍රකාශ කළේ කුමක්ද? යන්න පිළිබඳව අපි සොයා බැලුවෙමු.

ෂරියා (ඉස්ලාමීය නීතිය) අනුව කාන්තාවන් සිය ඉස්ලාමීය භක්තිය, විනීත සහ ගෞරවනීය බව ආරක්‍ෂා කර ගැනීම සඳහා කළු පැහැති අබාය පළඳීති.

නමුත් මේ වනවිට සෞදි අරාබිය ක්‍රම ක්‍රමයෙන් නව්‍යකරණයට ලක්වෙමින් ඇති රටක් බවට පත්වෙමින් තිබේ.

මේ අනුව මොහොමඩ් බින් සල්මාන් කුමරු බලයට පත්වීමත් සමඟම මේ වසරේ ගිම්හානයේ සිට මිශ්‍ර පොදු ක්‍රීඩා ඉසව්වලට සහභාගී වීමට කාන්තාවන්ට අවසර දීම සහ මෝටර් රථ පැදවීමේ අයිතිය ඇතුළු කාන්තා අයිතිවාසිකම්වල පුළුල් වීමක් සිදු කරමින් යයි.

රට නවීකරණය සඳහා වූ නව ප්‍රගතිශීලී ප්‍රවණතාවක් ලෙස මෙම වෙනස්කම් සිදු කළයුතු බව සෞදි කුමරුගේ අදහසයි.

“ෂරියා (ඉස්ලාමීය නීතිය) හි ඉතා පැහැදිලිව නියම කර තිබෙන කාන්තාවන් පිරිමින් මෙන් විනීත, ගෞරවනීය ඇඳුම් ඇඳිය යුතු බව තමන් විශ්වාස කරන බව මොහොමඩ් කුමරු පසුගියදා එරට CBS රූපවාහිනිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්‌ වෙමින් පැවසීය.

“නමුත් එය කළු අබායා හෝ කළු හිස් ආවරණයක් වීම අත්‍යාවශ්‍ය නොවන බවත්, ඇය අඳින්නේ කුමන ආකාරයේ විනීත සහ ගෞරවනීය ඇඳුමක්ද යන්න තීරණය කිරීම සම්පූර්ණයෙන්ම කාන්තාවන්ට භාර වන බවත් මෙහිදී සල්මාන් කුමරු පවසා තිබේ.

මේ අතර එරට ජ්‍යෙෂ්ඨ පූජකවරයෙක්ද පසුගිය මාසයේදී පවසා තිබුණේ ඉස්ලාමීය කාන්තාවන් විනීතව ඇඳ පැළඳ සිටිය යුතු නමුත් මෙයට අබයා පැළඳීම අවශ්‍ය නොවන බවයි.

මේ නිසා මෙය වැරදි ලෙස වටහා ගෙන බොහෝ දෙනා සල්මාන් කුමරු අබාය පැළඳීම අවශ්‍ය නොවන බව පැවසුවේ යැයි අසත්‍ය තොරතුරක් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන බව අපට පෙනී යයි.

 896 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply