ජීවත් වෙන්න මුහුදට පැන්න තරුණයින්ට හිටි හැටියේ අත් වූ ඉරණම!

වසර 15කට අධික කාලයක් ගාල්ල, කොටුව කොඩිගල මුර අට්ටාලයේ (Flag Rock Bastion) සිට මුහුදට පැනීමෙන් සංචාරකයින් පිනවූ (Crazy Jumpers) තරුණයින්ට පසුගිය සිකුරාදා (දෙසැ.10) සිට එහි නිරත වීමට බාධා එල්ල වී ඇතැයි අප වාර්තාකරු පවසයි.

කොඩිගල සිට මුහුදට පනින අඩි 3ක පමණ කොටසක් පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු සඳහා ගල් බැම්මකින් ආවරණය කිරීම හේතුවෙන් ඊට බාධා වී තිබේ.

එම ක්‍රියාකාරකමේ නිරත තරුණයෙක්:

“අපිට විශාල පාඩුවක් සිදු වෙලා තියෙන්නේ. අඩි 3 හරි අපිට තියන්න කියලයි බලධාරීන්ගෙන් ඉල්ලුවේ. අපි ජීවත් වෙන්නේ මේකෙන් වගේ ම ගාලු කොටුව ජාත්‍යන්තරව සංචාරක ආකර්ෂණයට මේක හේතුවක් වුණා. නගරාධිපතිවරයා අපිට හම්බ වෙන්න එන්න කිව්වා. ස්ථිර රැකියාවක් සොයා දෙනකම් ගාල්ල කොටුව ඇතුළත ස්වයං ව්‍යාපාරයක් කරන්න අවසර දුන්නා.”

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම ක්‍රියාකාරකමේ නිරත තවත් තරුණයෙක්:

“අපිට කරන්න වෙන රස්සාවක් නැහැ. අපි බලධාරීන්ගෙන් ඉල්ලන්නෙ අපේ රස්සාව වගේ ම සංචාරක ව්‍යාපාරයට ආකර්ෂණයක් වන මෙම ක්‍රියාව කරගෙන යාමට සහය වෙන්න කියලා.”

මේ සම්බන්ධයෙන් ගාලු කොටුව සංරක්ෂණ ව්‍යාපෘතියේ නිරත උපායමාර්ගික සංවර්ධන අමාත්‍යංශයේ බලධාරීන්ගෙන් කළ විමසීමකදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ, ලෝක බැංකු ආධාර යටතේ එම ස්ථානයේ සංරක්ෂණ කටයුතු සිදු කරන බව ය.

ඒ හේතුවෙන්, එම ස්ථානයේ මේ වන විට අඩි 3ක පමණ කොටසක ගල් බැම්මකින් ඉදි කර ඇති බව එම අමාත්‍යංශයේ බලධාරීන් පවසා ඇත.

මෙම ත්‍රාසජනක ක්‍රියාව දැක බලා ගැනීම සඳහා දෙස් විදෙස් සංචාරකයින් දැඩි කැමැත්තක් දක්වන බව ත් විදේශීය රටවල ප්‍රභුවරුන්, හමුදා ප්‍රධානීන් ඇතුළු ගාල්ලට පැමිණෙන විදෙස් රටවල නියෝජිතයන් එය නැරඹීම සඳහා ගාලු කොටු පවුරට පැමිණ ඇති බව ත් එම තරුණයෝ පැවසූහ.

පවුලේ ආර්ථිකය ගැට ගසා ගැනීම සඳහා තමන් විසින් කරනු ලබන මෙම ක්‍රීඩාව කෙතරම් අවදානම් වුව ත් එය ඔවුන්ට නම් ත්‍රාසජනක හෝ අවදානම් දෙයක් නොවන බව ඔවුහු වැඩිදුරට ත් ප්‍රකාශ කළහ.

දිවි පරදුවට තබා තරුණයින් පිරිසක් සිදු කරගෙන යන ”මාරක පිම්ම” ලංකාවේ පමණක් නොව ලොව අනෙක් රටවල්වල ද ජනප්‍රිය වී තිබේ.

මෙම ස්ථානය කොඩිගල යනුවෙන් හැඳින්වුව ද මේ වන විට එය ගාලු කොටුවේ “ජම්පින් ප්ලෙස්” යනුවෙන් වැඩි දෙනෙක් හඳුන්වති.

 4,221 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
3
+1
0
+1
0
+1
2
+1
0
+1
0

Leave a Reply