පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත තුළ ඇතුළත් ඇතැම් වගන්ති ගැටලුසහගත බව පවසමින් වාසුදේව නානායක්කාර ඇමතිවරයා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

වාසුදේව නානායක්කාර ඇමතිවරයා සඳහන් කරන්නේ 19 වැනි සංශෝධනය අහෝසි කළ යුතු නමුත් එහි සඳහන් ඇතැම් සාධනීය ලක්ෂණ ආරක්ෂා කළයුතු බවයි. 

ද්විත්ව පුරවැසිභාවය දරන පුද්ගලයෙකුට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා අදාල පුද්ගලයා අනෙක් ර‍ටේ පුරවැසිභාවය අතහැර ඒ සඳහා සුදුස්සෙකු බවට පත්විය යුතු බව පෙන්වා දෙන ඇමතිවරයා පවසන්නේ ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව නියෝජනය කිරීම වළක්වාලන වගන්තිය තවදුරටත් ආරක්ෂා කළ යුතු බවයි.

මීට අමතරව නව සංශෝධනය හරහා විධායක ජනාධිපතිවරයාගේ බලතල වැඩි කිරීමද අනුමත කළ නොහැකි බවයි නානායක්කාර මහතා සිය ලිපියෙන් අවධාරණය කරන්නේ.