2022 අය වැය තුනෙන් දෙකක බහුතරයකින් සම්මතයි!

අයවැය විසර්ජන පනත් කෙටුම්පත (2022) තෙවැනි වර කියවීම තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී අද (10) පස්වරුවේ සංශෝධන සහිතව  සම්මතවිය.

විසර්ජන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද  157ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 64ක්  පමණි.

මේ අනුව ආණ්ඩු පක්ෂයට ලැබුණු වැඩි ඡන්ද ගණන 93කි.

සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය සහ එක්සත් ජාතික පක්ෂය යන පක්ෂවල මන්ත්‍රීවරු
අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

අයවැය විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා  අවස්ථාවේ සලකා බැලුණු මොහොතේදී ඒ සම්බන්ධයෙන්  ඡන්ද විමසීමක් අවශ්‍ය බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේය.  ඡන්ද විමසීමක් පැවැත්වුණේ ඒ අනුවය.

ආචාර්ය විජයදාස රාජපක්ෂ , ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න සහ කුමාර වෙල්ගම යන මන්ත්‍රීවරු අයවැය තෙවැනි වර කියවීම සම්බන්ධයෙන් ඡන්දය විමසන අවස්ථාවේදී  සභා ගර්භයේ  නොසිටියහ.

රාවුෆ් හකීම් සහ රිෂාඩ් බදුර්දීන් යන මන්ත්‍රීවරු අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ අතර එම පක්ෂවල මන්ත්‍රීවරුන්  අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරනු දැකගත හැකි විය.

අපේ ජන බල පක්ෂයේ  ජාතික ලයිස්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝද අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

පාර්ලිමේන්තු ලේකම් මණ්ඩලයේ අධීක්ෂණය යටතේ පාර්ලිමේන්තු සභා ගර්භයේ  ඉලෙක්ට්‍රොනික ඡන්ද විමසීම් පද්ධතිය ඔස්සේ මන්ත්‍රීවරුන්ගෙන්  ඡන්දය ලබා ගැනීම සිදු කෙරිණ.

රජයේ අයවැය ලේඛනය (අයවැය කතාව ) මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින්  පාර්ලිමේන්තුවට පසුගිය නොවැම්බර් මස 12 වැනිදා ඉදිරිපත් කරනු ලැබීය .

ඉන්පසු අයවැය දෙවැනිවර කියවීමේ විවාදය පසුගිය  නොවැම්බර් මස  13 වැනිදා සිට ආරම්භ කෙරුණු අතර එම විවාදය දින හතක් පැවැත්විණ. ඉන්පසු අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය  නොවැම්බර්  මස  22වැනිදා  සිට ආරම්භ විය.

මේ අනුව අයවැය විවාද පැවැත්වුණු මුළු දින ගණන 28 කි .

 627 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply