කොරෝනා වසංගත අවදානම නිසා බස්රථවල ගමන්කරන මගීන්ටිකට්පත් ලබාගෙන එම ටිකට්පත් කෙටි කාලයක් තමන් සන්තකයේ තබා ගන්නා ලෙස මගී ජනතාවගෙන් ඉල්ලා සිටින බව දකුණු පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් බී. එම්. ඒ. රාජාකුමාර මහතා පවසයි.
 
 මේ පිළිබඳ මගී ජනතාව දැනුවත් කිරීමට කටයුතු කර ඇති බවද හෙතෙම පවසයි. කොරෝනා වසංගත තත්වය හමුවේ තොරතුරු මුලාශ‍්‍රයක් වශයෙන් පොදු ප‍්‍රවාහන සේවාවල ගමන් කිරීමේ දී ලබාගන්නා ටිකට්පත ඉතා වැදගත් බවද අධ්‍යක්ෂක ජෙනරාල්වරයා සඳහන් කළේය. මිනුවන්ගොඩ ඇඟලූම් කම්හලේ සේවය කළ සේවිකාවක් ගිංතොට, වටරැුක ප‍්‍රදේශයේ පිහිටි සිය නැගණියගේ නිවසට පැමිණ සිටියදී අසනීප වී කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කොරෝනා ආසාදිතයකු බවට හඳුනාගෙන තිබේ. ඇය ගමන්ගත් බස්රථවල ටිකට් පත් ළඟ තබාගෙන තිබූ බවද දකුණු පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේය. මේ නිසා ඇය ගමන් කළ බස් රථ දෙක හඳුනා ගැනීමට ඉතාපහසු වී තිබේ. මේ ගැන අදාළ බස්රථවල රියැදුරු හා කොන්දොස්තරවරු දැනුවත් කිරීමට කටයුතු කළ බවද හෙතෙම පවසයි.
 
 කොරෝනා අසාදිත බවට හඳුනාගත් මෙම ඇගලූම් සේවිකාව ශ‍්‍රී ලංගම බස්රථ දෙකක ගමන් කොට ඇති බවට අනාවරණය කරගැනීමට හැකිවී ඇත. මේ පිළිබඳ ශ‍්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ දකුණු පළාත් ප‍්‍රදේශීය කළමනාකරු ආර්. එම්. ප‍්‍රභාත් කුමාර මහතාගේ අප කළ විමසීමකදී මෙසේ කිවේය.
 
 මෙම ඇඟලූම් සේවිකාව කඩවත සිට ගාල්ල බලා ධාවනය වූ ශ‍්‍රී ලංගම බස් රථයකින් තමයි පැමිණ තියෙන්නේ. ඒ බස් රථය කඩවත ඩිපෝවට අයත් බස් රථයක්. එම බසයේ රියැදුරු හා එම අවස්ථාවේ ටිකට්පත් නිකුත් කළ කොන්දොස්තරවරයාට හා සෞඛ්‍ය අංශවලට මේ බව දැනුම් දී තියෙනවා. පසුව ඇය ගාල්ල සිට අම්බලන්ගොඩ බලා ධාවනය වු ශ‍්‍රී ලංගම බස් රථයකද ගමන්කොට තියෙනවා. එම බසයේ රියැදුරුට හා කොන්දොස්තරවරායට මෙන්ම සෞඛ්‍ය අංශ දැනුවත් කිරීමට අපි කටයුතු කළා. ඇත්තටම මෙම කාන්තාව ටිකට්පත් ළඟ තබා ගැනීම ගැන ඇයට ස්තුති කළ යුතු බවද ප‍්‍රභාත් කුමාර මහතා සඳහන් කළේය