”ආණ්ඩුව යන පාර වැරදියි, අපෙන් කිසි දෙයක් අහන්නේ නැහැ”

ශ්‍රී ලංකාවේ ඇති කසළ කඳුවලින් නිෂ්පාදනය කරනු ලබන කාබනික පොහොරවල සහ වසුරු පොහොරවල මිනිස් සිරුරට අහිතකර අපද්‍රව්‍ය සහ භයානක රසායන ද්‍රව්‍ය ඇතැයි ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය පවසයි.

mawbima.lk වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් මහාචාර්යවරිය සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් තමන් පර්යේෂණ රැසක් ද සිදු කර ඇති බව ය.

කුණු කඳුවලින් නිෂ්පාදනය කරනු ලබන පොහොරවල අපද්‍රව්‍ය, බැර ලෝහ මෙන් ම මයික්‍රෝප්ලාස්ටික්ස් බහුල බව ඇය පෙන්වා දුන්නා ය.

ඇය සඳහන් කළේ, නිවෙස්වලින් කුණු වර්ගීකරණය කර ලබා දුන්න ද නගර සභාවලින් එම කුණු එක ම ස්ථානයකට බැහැර කරන බව ය. ඒ අනුව, කොම්පෝස්ට් පොහොර නිෂ්පාදන ක්‍රියාවලියේදී එම කුණුවල අඩංගු පොලිතින් මයික්‍රෝප්ලාස්ටික් බවට පත් වන බව ඇය සඳහන් කළා ය.

මහාචාර්යවරිය පෙන්වා දුන්නේ, පොලිතින් නිෂ්පාදනයේදී ඒවායේ නම්‍යශීලි බව ලබා ගැනීම සඳහා විවිධ රසායන ද්‍රව්‍ය ඊට එකතු කරන බව ය. එම රසායනික සංයෝගය ඉතා භායනක බව ඇය පැවසීය.

එවැනි පොහොර කෘෂිකර්මාන්තය සඳහා යොදා ගැනීමෙන් ඒවායේ අඩංගු අහිතකර රසායන ද්‍රව්‍ය පසට එකතු වී ශාකවලට ත් ආහාරවලට ත් එකතු වීමේ අවදානමක් ඇති බව ඇය පෙන්වා දුන්නා ය.

ඇය සඳහන් කළේ, ඌරු කොටුවලින් සහ කුකුල් කොටුවලින් ලබා ගන්නා පොහොරවල ප්‍රතිජීවක ඖෂධ සහ හෝමෝන (ස්ටෙරොයිඩ) අඩංගු බව ය.

එවැනි රසායන ද්‍රව්‍ය පරිසරයට සහ මිනිස් සිරුරට දරා ගත හැකි මට්ටම් කවරේ ද යන්න නිර්ණය කර ඇති බව ඇය පෙන්වා දුන්නා ය. ඒ අනුව, නිර්ණය කර ඇති මට්ටම්වලට වඩා වැඩි වනවා නම් පමණක් මානව සෞඛ්‍යයට ඒවා අහිතකර ලෙස බලපාන බව ත් ඊට වඩා අඩු මට්ටම්වල පවතිනවා නම් ඒ පිළිබඳව බිය නොවිය යුතු බව ත් ඇය පැහැදිලි කළා ය.

කෙසේ වෙතත්, දැනට ශ්‍රී ලංකාවේ ඇති තත්ත්වය අනුව පොහොරවල අඩංගු බැර ලෝහ හැර කාබනික රසායනික සංයෝග පරීක්ෂා නොකරන බව මහාචාර්යවරිය පෙන්වා දුන්නා ය.

එවැනි පරීක්ෂණ සාමාන්‍ය මට්ටමේ පර්යේෂණාගාරවල සිදු කළ නොහැකි බව ත් ඒ සඳහා විශේෂිත උපකරණ අවශ්‍ය බව ත් ඇය සඳහන් කළා ය.

මහාචාර්යවරිය ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාව තුළ එවැනි විශේෂිත උපකරණ ඇත්තේ පර්යේෂණාගාර කිහිපයක පමණක් බව ත් එවැනි ස්ථානවලින් අදාළ පරීක්ෂණ කටයුතු සිදු කර ගැනීම සඳහා අධික මුදලක් වැය කිරීමට සිදුවන බව ත් ය.

ඒ හේතුවෙන්, මෙරට තුළ නිෂ්පාදනය කරනු ලබන කාබනික පොහොරවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් සහතිකයක් ලබා දිය නොහැකි බව ඇය අවධාරණය කළා ය.

එමෙන් ම, වෙනත් රටවල්වලින් ගෙන්වන කාබනික පොහොරවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ද සහතිකයක් ලබා දීම කිසිසේත් ම කළ නොහැකි බව මහාචාර්යවරිය පෙන්වා දුන්නා ය.

ශ්‍රී ලංකාව තුළ එවැනි තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීමට ශාක නිරෝධායනය වැනි ක්‍රමවේද ඇති බව ත් යම් හෙයකින් එවැනි ක්‍රමවේදවලට පටහැනිව කටයුතු කර පොහොර ගෙන්වීම සිදු කළහොත් ඉන් දැඩි අවදානම් තත්ත්වයක් ඇති විය හැකි බව ත් ඇය පැහැදිලි කළා ය.

එසේ වුව ද රසායනික පොහොර පමණක් භාවිත කර කෘෂිකාර්මික කටයුතු සිදු කිරීම සුදුසු යැයි හෝ කාබනික පොහොර පමණක් භාවිත කර කෘෂිකාර්මික කටයුතු සිදු කිරීම සුදුසු යැයි නිර්දේශ කළ නොහැකි බව මහාචාර්යවරිය පැවසීය.

ඇය පෙන්වා දුන්නේ, කාබනික පොහොර පමණක් භාවිත කර අවශ්‍ය අස්වැන්න ලබා ගත නොහැකි බව ය.

ඒ හේතුවෙන්, කාබනික පොහොර සමග (දිරා ගිය ශාකමය කොටස්) රසායනික පොහොර භාවිතය වඩා ත් සුදුසු බව ඇය පෙන්වා දුන්නා ය. තමන් පමණක් නොව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් පවා යෝජනා කර ඇත්තේ එම ”මැද මාවත” බව ඇය සඳහන් කළා ය.

කෙසේ වෙතත්, තමන් වැනි විද්වතුන්ගේ අදහස් බලධාරීන් නොසලකා හරින බව ත් මහාචාර්යවරිය පැවසුවා ය.

ඇය සඳහන් කළේ, කාබනික පොහොර සම්බන්ධයෙන් අප්‍රේල් මාසයේදී ගත් තීරණයේ සිට ම බොහෝ කෘෂිකර්ම විද්‍යාඥයින්, පාංශු විද්‍යාඥයින් ඇතුළු විද්‍යාඥයින් අදහස් ප්‍රකාශ කළ බව ය. එමෙන් ම, ඒ පිළිබඳව පර්යේෂණ රැසක් සිදු කර ඇති බව ත් එම පර්යේෂණවල දත්ත ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සඳහා යොදා නොගන්නා බව ත් ඇය සඳහන් කළා ය.

එම ප්‍රකාශ, අදාළ බලධාරීන් “කණකට හෝ නොගත් බව” ඇය අවධාරණය කළා ය.

හරිත කෘෂි කර්මාන්තය සඳහා ගමන් කිරීම එක් රැයකින් සිදු කළ නොහැකි දෙයක් බව ත් එය ක්‍රම ක්‍රමයෙන් සිදු කළ යුතු බව ත් මහාචාර්යවරිය සඳහන් කළා ය.

මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය වැඩිදුරටත් පෙන්වා දුන්නේ, හරිත කෘෂිකර්මාන්තයක් සඳහා රසායනික සහ කාබනික පොහොර යොදා ගැනීම ”අනිවාර්යයෙන් මැද මාවතක සිට කළ යුතු බව,” ය.

 572 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply