පකිස්ථානයේදී ලාංකිකයකු ඝාතනය කිරීම හෙළා දකිනවා!

පාකිස්ථානයේ දී සිදුවූ ශ්‍රීලාංකිකයාගේ කෘර ඝාතනය දැඩි සේ, හෙළා දකින බවත් මෙම අපරාධය පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදු කොට වරදකරුවන්ට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස පාකිස්ථාන බලධාරින්ගෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

මෙම තත්ත්වය සමීපව නිරික්ෂණය කරමින් අදාළ සිදුවිම සම්බන්ධයෙන් කඩිනම් පරික්ෂණයක් සිදු කිරීම පිණිස පාකිස්ථානය වෙත රාජ්‍ය තාන්ත්‍රික සන්නිවේදනයන් සමගි ජන බලවේගය විසින් නොකඩවා සිදු කරන බවත් නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂනායකවරයා සඳහන් කරයි.

“පාකිස්ථානයේ සියල්කොත් හි දී ශ්‍රී ලාංකිකයෙකු වූ ප්‍රියන්ත කුමාර මහතා කෲර ලෙස ඝාතනය කිරීමේ සිදුවීම සමගි ජන බලවේගයේ කම්පනයට හේතු විය.

සිය ආගමට අපහාස කිරීමේ චෝදනා මත හිංසනකාරී කල්ලියක් විසින් කුමාර මහතා වෙත කෲර ලෙස පහර දී මරා දමා ඇති බව මෙම සිදුවීමට අදාළ ප්‍රවෘත්ති වාර්තා මගින් පළ වේ. අප විසින් මෙම අපරාධය දැඩි සේ, විවෘතවම හෙළා දකින අතර, මෙම සිදුවීම පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදු කොට වරදකරුවන්ට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස පාකිස්ථාන බලධාරින්ගෙන් ඉල්ලා සිටිමු.

අතිගරු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මැතිතුමා ද ඇතුළු පාකිස්ථාන නායකත්වය විසින් මෙම ප්‍රහාරය හෙළා දැක කුමාර මහතාගේ මිනී මැරුම සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන බවට හා විදේශිකයෙකු එල්ල කොට එවන් ප්‍රහාරයක් සිදු වීමට තුඩු දුන් හේතු ද විමසා බැලීමට පොරොන්දු වී ඇත්තේය යන කරුණ පිළිබඳව ද අපගේ අවධානය යොමුව ඇත. මෙම සිදුවීමට ප්‍රතිචාර දැක්වීමේදී මනා සංයමයකින් යුතුව කටයුතු කරන ලෙසද රටේ ජන ප්‍රජාවන් අතර එදිරිවාදී හැඟීම් උත්සන්න කිරීමට උත්සාහ කළ හැකි ජාතිවාදි දේශපාලන බලවේගයන් පිළිබඳව පරික්ෂාකාරී වන ලෙසද සමගි ජන බලවේගය සමස්ත ශ්‍රි ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටී”යැයි ද එහි සඳහන් වේ.

 558 total views,  15 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply