ඔමික්‍රෝන් ගැන නීලිකාගෙන් හෙළිදරව්වක්!

මෙතෙක් පැවැති කොරෝනාවෛරස ප්‍රභේද 4ට වඩා ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය වේගවත් විය හැකි අතර කොරෝනාවෛරස ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයන්ට වුව ද එය ආසාදනය විය හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානි මහාචාර්ය නීලිකා මලවිගේ පෙන්වා දුන්නා ය.

ඔමික්‍රෝන් ප්‍රභේදයේ පැතිර යාම පිළිබඳ නිසි අවබෝධයක් ශ්‍රී ලංකාව සතු අතර යම් හෙයකින් වෛරසය රට තුළට ඇතුළු වුවහොත් ජාන විශ්ලේෂණයකින් එය හඳුනාගැනීමට පරීක්ෂණාගාර පහසුකම් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

‘ඔමික්‍රෝන් ප්‍රභේදය පිටු දැකීමට රට සූදානම්’ ද මැයෙන් ඊයේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය සංවිධානය කළ මාධ්‍ය හමුවේදී මෙම අදහස් පළ කෙරිණි.

ඉදිරි සති දෙක තුන තුළ ඔමික්‍රෝන් ප්‍රභේදයේ හැසිරීම පිළිබඳ පැහැදිලි අදහසක් ලබාගැනීමට හැකිවනු ඇති බව ත් ප්‍රතිශක්තිකරණය ඉහළ නම් විකෘති ප්‍රභේදවලට බිය විය යුතු නැති බව ත් නීලිකා මලවිගේ සඳහන් කළා ය.

ලෝකයේ රටවල් 24කින් මේ වනවිට ඔමික්‍රෝන් ප්‍රභේදය හමු වී ඇති බව ත් ඒ පිළිබඳ ලෝක සෞඛ්‍ය අංශ විශේෂ අවධානයෙන් පසුවන බව ත් ඇය පැවැසුවා ය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ දැවැන්ත කැපවීම සහ මැදිහත් වීම හේතුවෙන් කොවිඩ් පාලනයෙන් ලෝකයේ ඉහළ තැනකට රට පත්ව ඇති අතර නව ප්‍රභේදය පාලනයට ජනතා සහාය අත්‍යවශ්‍ය වන අතර නිසි සෞඛ්‍ය නිර්දේශ පිළිපදිමින් ඊට සහාය දැක්වීම සියලුදෙනාගේ වගකීම බවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය එච්.එස්. මුණසිංහ සඳහන් කළේය.

මෙතෙක් එන්නත් ලබා නොගත් පිරිස් වහාම එන්නත්කරණයට යොමුවීමේ අවශ්‍යතාව අවධාරණය කෙරුණු අතර බූස්ටර් එන්නතකින් ප්‍රතිශක්තිය ඉහළ යන හෙයින් ඔමික්‍රෝන් පැමිණියත් අනවශ්‍ය බියක් ඇතිකර ගත යුතු නැති බව සඳහන් කළ ආචාර්ය චන්දිම ජීවන්දර ජනතාව නියමිත සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම ඉතා වැදගත් බවද අවධාරණය කළේ ය.

රෝගයට බියවීමට වඩා සෞඛ්‍ය නිර්දේශ පිළිපදිමින් ප්‍රතිශක්තිකරණය පවත්වාගැනීමේ වැදගත්කම ද ජීවන්දර මහතා පැවසීය.

දැනට රජය මගින් සිදුකරගෙන යන කොවිඩ් මර්දන කටයුතු සාර්ථක අතර උත්සව සමයේ සංචරණ සීමා කරගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හේමන්ත හේරත් අවධාරණය කළේ ය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානි මහාචාර්ය නීලිකා මලවිගේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය එච්.එස්. මුණසිංහ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර, සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හේමන්ත හේරත් යන මහත්වරු ද සහභාගී වූ මාධ්‍ය හමුව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක විසින් මෙහෙය වන ලදී.

 583 total views,  15 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply