ප.ච.රණවකගේ වාහනේ හැප්පුණු සංදීප් රෝද පුටුවෙන් අධිකරණයට! [VIDEO]

රාජගිරියේ රිය අනතුරකින් තරුණයෙකුට බරපතළ තුවාල සිදුකිරීම සහ ඒ සම්බන්ධයෙන් බොරු සාක්ෂි සැකසීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව දෙසැම්බර් දෙවැනිදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (30) නියම කළේය.

එදිනට අධිකරණය හමුවේ සාක්ෂි ලබාදෙන ලෙස සාක්ෂිකරුවන් දෙදෙනෙකුට සිතාසි ද නිකුත් කෙරුණි.

අනතුරින් බරපතළ තුවාල ලැබු සංදීප් සම්පත් නම් තරුණයා ද අද රෝද පුටුවක ආධාරයෙන් අධිකරණය වෙත පැමිණ තිබුණි.

2016 පෙබරවාරි මස රාජගිරියේදී එම අනතුර සිදුවී තිබුණි.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව අධි චෝදනා 16ක් යටතේ මෙම නඩුව ගොනු කර තිබේ.

අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ එහි පළමු විත්තිකරු වන පාඨලි චම්පික රණවක මන්ත්‍රීවරයා අධිකරණය හමුවේ පෙනී සිටියේය

මෙහිදි පාඨලි චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා මූලික විරෝධතාවයක් මතු කරමින් කියා සිටියේ මෙම අනතුරේදී රිය පැදවීමේ චෝදනාවට දිලුම් තුසිත කුමාර නැමැත්තා වරද පිළිගෙන මහෙස්ත්‍රාත් අධිකරණය මගින් දණ්ඩනයට ලක්ව තිබියදී ඊට අදාළව තවත් අයෙකුට වෙනත් අධිකරණයක නඩු පැවරිය නොහැකි බවය.

රිය අනතුර සිදුවූ අවස්ථාවේ වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ සුදත් අස්මඩල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා ද එම මතයට එකඟත්වය පළ කළ අතර දෙවන විත්තිකරු වරද පිළිගෙන දණ්ඩනයට ලක්ව ඇති අවස්ථාවක පළමු විත්තිකරුව ආරක්ෂා කළේ යැයි තුන්වන විත්තිකරුට චෝදනා එල්ල කළ නොහැකි බව ඔහු පෙන්වාදී තිබුණි.

එම අවස්ථාවේ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා සඳහන් කළේ මහෙස්ත්‍රාත් අධිකරණයේදී දෙවන විත්තිකරු රිය පැදවීමේ චෝදනාව පිළිගෙන තිබුණද සැබවිත්ම වෙනත් අයෙකු රිය පැදවුවා විය හැකි බවය.

කෙසේවෙතත් විත්තියේ මූලික විරෝධතාවලට පිළිතුරු ලබාදීමට පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් මහතා වෙනත් දිනයක් ඉල්ලා සිටි අතර විනිසුරුවරයා දෙසැම්බර් දෙවැනිදා ඊට පිළිතුරු ලබාදෙන ලෙස දැනුම් දුනි.

එමෙන්ම විත්තියේ මුලික විරෝධතා සම්බන්ධයෙන් වූ නියෝගය එදින ප්‍රකාශයට පත්කිරීමෙන් පසු නඩු විභාග ආරම්භ කිරීම සඳහා සාක්ෂිකරුවන් දෙදෙනකුට මෙහිදී සිතාසි නිකුත් කෙරුණි.

 802 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply