රියාජ් බදියුදීන් පාස්කු ප‍්‍රහාරයට සෘජුව සම්බන්ධ නොවන බවට රහස් පොලිස් පරීක්‍ෂණවලින් සනාථ වු නිසා ඔහු නිදහස් කර ඇති බව වාරිමාර්ග ඇමැති සහ ආරක්‍ෂක රාජ්‍ය ඇමැති චමල් රාජපක්‍ෂ මහතා පවසයි


 නිදහස් වීමෙන් පමණක් ඔහු නිර්දෝශී පුද්ගලයෙකු ලෙස හැඳින්විය නොහැකි බවත් ඔහු පිළිබඳ පරීක්‍ෂණ අඛණ්ඩව සිදු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි
 
 සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතා විසින් පාර්ලිමේන්තුවේදී ඊයේ නගන ලද ප‍්‍රශ්නයකට පිළිතුරු ලෙස ඔහු මේ බව ප්‍රකාශ කළ අතර එහිදී වැඩිදුරටත් මෙසේ පවසා තිබේ.

ඔහු නිදහස් කිරීම පිළිබඳව ආණ්ඩුවේ කිසිම සම්බන්ධයක් නැහැ. සාමාන්‍යයෙන් පොලිසියේ කරන රාජකාරි ක‍්‍රමවේදයන් අනුව තමයි ඒ කටයුතු සිදු වෙලා තිබෙන්නේ. ඔය කියන පුද්ගලයා පාස්කු ප‍්‍රහාරයේ කොළඹ සිනමන්ඞ් ග‍්‍රෑන්ඞ් බෝම්බ ප‍්‍රහාරය එල්ල කළ බෝම්බකරු වන ඉන්සාෆ් අහමඞ් සමග 2019 වසරේ පවත්වනු ලැබූ ඇමතුම් 7 ක සම්බන්ධතාවයක් මත 2020-04-14 දින අත්අඩංගුවට ගත්තා.
 
 “මාස 6 ක කාලයක් සඳහා රැුඳවුම් නියෝග ලබාගෙන ඔහු පිළිබඳ විමර්ශන කටයුතු සිදු කර තිබෙනවා. එසේ සිදු කර ඇති විමර්ශනවලදී මේ පුද්ගලයා බෝම්බ පිපිරවීමට සහාය වී ඇති බවට හෝ ත‍්‍රස්ත ක‍්‍රියාවලට සම්බන්ධ බවට මෙතෙක් අනාවරණය වෙලා නැහැ. ඒ අනුව රැුඳවුම් නියෝග අවලංගු කිරීම සඳහා අවශ්‍ය ලිපිගොනු සකස් කර 2020.09.28 වැනි දින ආරක්‍ෂක අමාත්‍යාංශයට යොමු කර සැකකරු මුදාහැර තිබෙනවා.
 
 ඔහුට අදාළව සෘජුව මේ ගැන සාක්‍ෂි නැති නිසයි නිදහස් කරන්න තීරණය කරලා තිබෙන්නේ. නිදහස් කළා කියලා ඒක නිර්දෝෂභාවය නොවෙයි. පොලිසිය තවදුරටත් විමර්ශනය කරනවා. විමර්ශනයන් නතර කරලා නැහැ. සමහරවිට තව තව අය ඉදිරියේදී අත්අඩංගුවට ගන්න පුළුවන්”