පාරුව පෙරළීමේ සිද්ධියට කින්නියා නගර සභාවේ සභාපති රිමාන්ඩ්!

ත්‍රිකුණාමලය, කින්නියා, කුරුඤ්ඤංකේනි කලපුවේ පාරුවක් පෙරළීමේ සිද්ධියට අදාළව කින්නියා පොලිසිය මගින් කින්නියා නගර සභාවේ, සභාපති අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

ඒ, අනුව සැකකරු අද (නොවැ. 25) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙසැම්බර් 9 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, කුරුඤ්ඤංකේනි කලපුවේ පාරුව පෙරළීමේ සිද්ධියට අධාර, අනුබල දීම හේතුවෙන් නගරාධිපතිවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව ය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (නොවැ. 24) දිනයේදී පුද්ගලයින් තිදෙනෙකු කින්නියා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාගෙන් එක් පුද්ගලයෙකු පාලම් පාරුවේ හිමිකරු වන අතර අනෙක් පුද්ගලයින් දෙදෙනා එහි ක්‍රියාකරුවෝ වෙති.

ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් තිදෙනා ලබන 8 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බව කින්නියා පොලිසිය පැවසීය.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, කින්නියා, කුරුඤ්ඤංකේනි කලපුවේ පාරුවක් පෙරළීමෙන් පෙරේදා (නොවැ. 23) උදෑසන සිදු වූ අනතුරින් පුද්ගලයින් 6 දෙනෙකු මිය ගොස් තිබිණි.

මිය ගිය පිරිස අතර වයස අවුරුදු 70ක පිරිමි පුද්ගලයෙක්, වයස අවුරුදු 30ක කාන්තාවක්, ඇයගේ අවුරුදු 6ක පුතෙක් සහ අවුරුදු 3 1/2ක දියණියක් ද වූහ.

එමෙන් ම, එක ම පවුලක වැඩිමහල් සහෝදරිය සහ බාල සහෝදරිය මිය ගිය පිරිස අතර වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

අනතුරට මුහුණ පෑ පුද්ගලයින් 20 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති අතර වයස අවුරුදු 6ක දැරියක් දැඩි සත්කාර ඒකකයේ මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටියි.

 363 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply