ගොබ්බ මන්ත්‍රීලා සහ පච නිවේදකයින් නොදන්නා ප්‍රොපේන් බියුටේන් කතාවේ ඇත්ත මෙන්න!

හැමතැනම කතාවෙන මේ ගැන මමත් මගේ දැනුමට අනුව මේ පටලැවිල්ල ලිහාගන්න හිතුවා . මොකද මමත් ලංකාවේ එක් ගෑස් සමාගමක අවුරුදු 6 ක් පමණ LP ගෑස් නැවෙන් ගොඩ බෑම ගැන භාරව හිටපු ඉංජිනේරුවෙක් නිසා .

ලෝක වෙලදපොලේ ප්‍රොපේන් වැඩිපුරම අලෙවි වෙන්නේ සීත රටවල . මොකද එහි ඇති උණුසුම වැඩිවීමත් එක්ක පීඩනය වැඩිවීම ටිකක් වැඩි නිසා . බියුටේන් මැදපෙරදිග උණුසුම් රටවල බහුලව භාවිතවෙනවා .

නමුත් අපේ වගේ රටවලට ගැලපෙන්නේ මේ දෙකේ මිශ්‍රණයක්. ඉතින් සාමාන්‍යයෙන් 20% සිට 40% දක්වා ප්‍රොපේන් සංයුතිය වෙනස් කොට අපිට භාවිතා කල හැකියි .

සීත රටවල සීත කාලෙට නිවාස උණුසුම් කිරීමට ප්‍රොපේන් යොදා ගැනීම නිසා එම කාලයට බියුටේන් වලට සාපේක්ෂව ප්‍රොපේන් වල මිල අධිකව ඉහල යනවා . සාමාන්‍යයෙන් අවුරුද්දේ මැද මාස කිහිපයක් පමණක් ප්‍රොපේන් වල මිල බියුටේන් මිලට සමාන හෝ මදක් අඩු මට්ටමක පවතිනවා .

ඉතින් ගෑස් සමාගම් සමහර විට මෙම ප්‍රොපේන් මිල අඩු කාලයකදී වැඩි ප්‍රොපේන් සංයුතියක් අපේ ගෑස් ටැංකියට දමා අපට එව්වේ යයි හිතමු . එතකොට මෙය මහා භයානක තත්වයක්ද ?

ලංකාවේ ගෘහස්ථ ගැස්සිලින්ඩර නිපදවා ඇත්තේ SLS1178 කියන ප්‍රමිතියට අනුවයි . එය අනිවාර්යයෙන්ම ඔබගේ නිවසේ සිලින්ඩරයේ සඳහන් කර තිබේ . ඒ සමගම එහි තවත් කරුණු කිහිපයක් එහි දැක ගත හැක .

එනම්

  1. එම සිලින්ඩරය බාර් 30 ක් ( 30bar) හෙවත් මෙගා පැස්කල් 3 ක් (MPa) දක්වා ඔරොත්තු දෙන බව ( එනම් සෙල්සියස් අංශක 60ක උෂ්ණත්වයකදී ) TP 3.0MPa
  2. සිලින්ඩරය සැලසුම් කල කාමර උෂ්ණත්වයේදී ( 28 C පමණ ) ඇතුලත බාර් 17ක හෙවත් 1.66 MPa පීඩනයක වැඩකිරීමට සාදා ඇති බව ( DP 1.66MPa)

ලංකාවේ සාමාන්‍ය භාවිතයේ ගෑස් වල පීඩනය (28C උෂ්ණත්වයේදී) 4Bar පමණ වෙයි

  1. එහි ප්‍රොපේන් පමණක් පුරවන්නේ නම් කොපමණ බරක් පිරවිය යුතුද යන්න
  2. එය බියුටේන් පමණක් පුරවන්නේ නම් කොපමණ බරක් පිරවිය හැකිද යන්න

මෙහි ඒ සම්බන්ධව පිංතුර කිහිපයක් ඔබගේ පරිහරණයට එක් කොට ඇත .

ඒ අනුව 5 kg සිලින්ඩරයක ප්‍රොපේන් පමණක් 5 kg පුරවා ආවත් එය පුපුරා යා නොහැක .
12.5 Kg සිලින්ඩරයකට ප්‍රොපේන් පමණක් 11 kg පුරවා එව්වත් අවට උෂ්ණත්වය සෙල්සියස් අංශක 60 වනතුරු එය පුපුරා යා නොහැක .

නමුත් හරි හමන් අධීක්ෂණයක් නොමැතිව මෙම ඕනෑම ගෑස් සිලින්ඩරයක් භාවතා වේදී විය හැකි අතපසුවීම් නිසානම් සිලින්ඩර පුපුරා යා හැක .

එමෙන්ම බියුටේන් වෙනුවට ප්‍රොපේන් ලැබෙන්නේනම් එහි ඇති අධික ශක්තිය නිසා පාරිභෝගිකයාට අමතර ලාබයක් නම් අනිවාර්යයෙන් ලැබෙයි . මොකද බියුටේන් සඳහා 47.39 MJ/kg සහ ප්‍රොපේන් සඳහා 49.58MJ/kg ලෙස ශක්තිය අන්තර්ගත වී ඇති නිසා ප්‍රොපේන් සඳහා 5%ක පමණ වැඩි ශක්තියක් ලැබෙන බැවිනි .

මා මිත්‍ර Sumindaka Kariyapperuma ගේ මගපෙන්වීම මත මෙම දිගූව පලකරමි.

ලංකාවේ සාමාන්‍ය භාවිතයේ ඇති 70% බියූටේන්/30% ප්‍රොපේන් ගෑස්වල පීඩනය කාමර උෂ්ණත්වයේදී ( 30C) දී බාර් 4.2ක් පමණ වෙයි.

එය 70% ප්‍රොපේන් /30% බියුටේන් දක්වා වෙනස් කලත් කාමර උෂ්ණත්වයේදී (30C) ගෑස් පීඩනය වනූයේ බාර් 7.5ක පමණ අංගයකි. එනම් සාමාන්‍ය ගෘහස්ත රෙගියුලේටරයකට පාලනය කළ හැකි මට්ටමකි.

මගේ මෙම අන්තර්ගතයේ වැරදි ඇතොත් නිවැරදි කරන කෙනෙකුට සවන්දෙන්නට කැමතියි. නමුත් ගොන් මන්ත්‍රීලා මෙන්ම කරුණු නොදැන කතාකරන නිවෙදකයන්ගේද අදහස්වලට සවන්දීමට මා සුදානම් නැත .

ශ්‍යාමල් DLR

 371 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply