ලිංගික අදහස් සහිත කෙටි පණිවුඩයක් නිසා ඔස්ට්‍රේලියානු ටෙස්ට් නායක ඉල්ලා අස්වෙයි!

ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ටිම් පෙයින් නායකත්වයෙන් ඉවත් වන බව නිවේදනය කළේ ය.

ඔහු නායකත්වයෙන් ඉවත් වන බව නිවේදනය කළේ, තවත් සති දෙකකින් පමණ ආරම්භ වීමට නියමිත අළු බඳුන ටෙස්ට් තරගාවලිය ආසන්නයේ වීම විශේෂත්වයකි.

ඔහුගේ ඉල්ලා අස්වීමට හේතු වී ඇත්තේ, 2017 වසරේදී ටස්මේනියානු ක්‍රිකට් සමාජයේ සේවිකාවකට යවන ලද කෙටි පණිවුඩයක් හේතුවෙනි.

36 හැවිරිදි ටිම් පෙයින් අද පැවති මාධ්‍ය හමුවකදී කඳුළු පිරි දෑසින් යුතුව ප්‍රකාශ කළේ, තමන් 2017 වසරේදී ටස්මේනියා ක්‍රිකට් සමාජයේ සේවිකාවකට යැවූ කෙටි පණිවුඩ කිහිපයක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති හෙයින් නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ය.

තමන් එම චෝදනාව සම්බන්ධයෙන් නිදහස් කර ඇත ත්, තමන් අදාළ කාන්තාවට යවන ලද කෙටි පණිවුඩ ප්‍රසිද්ධියේ පළ කිරීමට නියමිතව ඇති හෙයින් තමන් නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කළ බව ය.

“මම මේ ගැන මගේ බිරිඳ සහ පවුලේ අය සමග කතා කළා. මම ඔවුන්ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මට සමාව දීලා මේ ප්‍රශ්නෙදි මට සහය වීම ගැන,” ටිම් පෙයින් පැවසීය.

ඔහු අදාළ කාන්තාවට යැවූ කෙටි පණිවුඩවල අන්තර්ගතය පිළිබඳව මෙතෙක් අනාවරණය වී නැති අතර, ඔස්ට්‍රේලියා ක්‍රිකට් වෙබ් අඩවිය එය හඳුන්වා ඇත්තේ, “ලිංගික අදහස් සහිත කෙටි පණිවුඩ (sexting) සම්බන්ධ සිද්ධියක් ලෙස ය.

ටිම් පෙයින් ඔස්ට්‍රේලියානු ටෙස්ට් නායකත්වයට පත්වූයේ, 2018 වසරේදී ය. ඔස්ට්‍රේලියා කණ්ඩායමේ කඩුලු රකින්නා ද වන ඔහු මේ වන විට ටෙස්ට් තරග 35කදී අර්ධ ශතක 50ක් රැස් කර තිබේ.

ඔහුගේ ඉල්ලා අස්වීමෙන් පසුව නායකත්වයට පත් කරන ක්‍රීඩකයා සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති අතර උප නායකත්වය දරන පැට් කමින්ස් නායකත්වයට පත් කරනු ඇතැයි බොහෝ දෙනෙකුගේ අදහස වී ඇත.

ටිම් පෙයින් නායකත්වයෙන් ඉවත් වුව ද, ඔහු කණ්ඩායමෙන් ඉවත් කර නැත.

මේ වසරේ අළු බඳුන තරගාවලියේ පළමු තරගය දෙසැම්බර් 8 වන දා ආරම්භ වේ.

 702 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply