මහනුවරට යන්න කඩුගන්නාව මඟ හරින්න වෙයිද?

කොළඹ මහනුවර ප‍්‍රධාන මාර්ගයේ සාමාන්‍ය දුර කිලෝමීටර් එකසිය දහසයකි. ඉකුත් දිනවලදී ඒ දුරට තවත් කිලෝමීටර් හතළිහක් හෝ පනහක් එකතු කරමින් අතුරු මාර්ගවල ගමන් කොට කොළඹට යෑමට මගීන්ට සිදුව තිබිණි. ඒ කාගෙවත් වරදක් නිසා නොව සොබාදහම එරෙහි වීමෙන් ඇතිවූ ස්වභාවික විපත් නිසා ය.

පහළ කඩුගන්නාව කිලෝ මීටර් 3.5 ක කොටස වසා තබා දින අටකට වැඩි කාලයක් එහි සියලූ ගමනාගමන පහසුකම් නතර කර දමා තිබිණි. රටේ ආර්ථිකය දරුණු ලෙස පහතට වැටී තිබෙන මෙවන් කාලයක එහි පාඩුව වක‍්‍රාකාරව රජයට දැනුනේය. පොදු ප‍්‍රවාහනය පුද්ගලික ප‍්‍රවාහනය ඒ සඳහා වැය වන ඞීසල් හා පෙට‍්‍රල් ප‍්‍රමාණයන් පමණක් නොව කාලය හා ශ‍්‍රමය මිනිස් පැය ගණනන් ලඝු කර බලන කල සියල්ලක්ම පාහේ දළ ජාතික නිෂ්පාදනයට පාඩුවක් වනු ඇත්තේය.

මේ වට විට කොළඹ නුවර අධිවේගී මාර්ගය ස්ථාපිත කොට තිබුණේ නම් කදිම විසඳුමක් වනු නොඅනුමානය. එය ද පසෙක තබමු.

කොළඹ නුවර ප‍්‍රධාන මාර්ගය සඳහා විකල්ප මාර්ගයක් වන මාවනැල්ල හෙම්මාතගම ගම්පොල මාර්ගය තරමක් දුරට භාවිත කළ හැකි වූ නමුත් එය අමතර පැයකට වැඩි කාලයක් ගත වන කිලෝමීටර් හතළිහකට ආසන්න දීර්ඝ මාවතකි. කර`ඩුපන හන්දියෙන් රඹුක්කනට ගොස් හතරලියද්ද මුරුතලාව හෝ තිස්මඩ පිළිමතලාව හෝ මාර්ගය භාවිත කරන්නේ නම් එයද කිලෝමීටර් තිහකට ආසන්න පැයකට ආසන්න කාලයක් ගත වන මාර්ගයකි. නමුත් එහි ද බෑවුම් සහ ගස් පෙරළී කණ්ඩි කැඞී ස්වභාවික විපත් අවදානම් සහිත වන බැවින් මාර්ගය හුරු නැති පොදු ප‍්‍රවාහන සේවයට යම් අනතුරක් ඇති බව කිව යුතුය.

මහනුවරට යන්න කඩුගන්නාව මඟ හරින්න වෙයිද?
මාර්ගයේ එක් මංතීරුවක් හෝ විවෘත කළ ද පහළ කඩුගන්නාව නායයෑමේ තර්ජන ඇති ඉහළ කොටස සහ පහළ සුළු කොටසක් සම්බන්ධයෙන් ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මේ වන විට පුළුල් ගවේෂණාත්මක ක‍්‍රියාවලියක් සිදු කරමින් සිටී. ඒ සඳහා ගොඩනැගිලි පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ආසිරි කරුණාවර්ධන මහතාගේ උපදෙස් මත සහ මාර්ග සංවර්ධන අධිකාරියේ සහයෝගය මත නැවත ප‍්‍රදේශය යථාවත් කිරීම සඳහා කටයුතු යොදා තිබේ.

නායගිය ස්ථානයේ නැවත යථාවත් කිරීමේ කටයුතු සහ ගවේෂණ කටයුතු සඳහා ඉංජිනේරු භූවිද්‍යාඥ සුරංග දිසානායක මහතා භූ විද්‍යාඥ ගයාන් බණ්ඩාර මහතා විදුම් අදිකාරි ජී. කේ. ආර්. එස්. ගුණවර්ධන මහතා ඇතුළු හතළිස් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් දිව රෑ නොතකා වෙහෙසෙන බව කිව යුතුය.

ඉකුත් දහවෙනිදා වරින්වර මෙම ප‍්‍රදේශයේ ඉහළ ස්ථරයේ මතුපිට පාංශු තල්ලූ වී යෑමක් සිදුව තිබෙනවා. ඉහළ කොටසේ ගල් සහිත කොටසට ආසන්නයේ තිබෙන පැල්ම හරහා ජලය පොළොව අභ්‍යන්තරයට කාන්දු වී තිබෙනවා. ඒ ජලය පොළොව අභ්‍යන්තරයේ තිබීමෙන් සිද්ධ වන්නේ නැවත නැවත පාංශු කොටස් බෑවුම් සහිත ප‍්‍රදේශයට තල්ලූ වී ඒමයි. ඒ අතරතුර තිබෙන විශාල ගස් ගැලවී එන්නත් මතුපිට ඇති ගල් පහළට ඇදී එන්නත් ඉඩ තිබෙනවා. එයින් සිදුවන ජීවිත හානි අවම කර ගැනීම සඳහායි මෙම ප‍්‍රදේශයේ සිටි මිනිසුන් ඉවත් කිරීමට සිදුවූයේ යැයි ගොඩනැගිලි පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ආසිරි කරුණාවර්ධන මහතා කියා සිටියේය.

පහළ කඩුගන්නාව නෑය යෑමෙන් ස්වභාවයක් පවතින බව මුලින්ම කියා සිටියේ පේරාදෙණිය විශ්වවිද්යාලයේ භූගර්භ විද්‍යා පර්යේෂණ අංශයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතාය. ඔහු කියා සිටි පරිදි දිගින් දිගටම මේ සම්බන්ධයෙන් ගවේෂණාත්මක පර්යේෂණ සිදු කළ යුතු අතර ප‍්‍රමුඛව මෙම තත්ත්වයන් වළක්වාලීමට පියවර ගත යුතු බව ය. මේ වන විට ඊට අදාළ කටයුතු සිදු කෙරෙමින් තිබේ.

ඉංජිනේරු සහ භූ විද්‍යාඥ සුරංග දිසානායක මහතා සහ භූ විද්‍යාඥ ගයාන් බණ්ඩාර මහතා කියා සිටියේ මෙම තත්ත්වයන් ඇතිව තිබෙන 98 වැනි කිලෝමීටර් කණුව අසල සිට මෙම ප‍්‍රදේශයේ දිගින් මීටර් අසූ හතරක් සහ ඉහළින් මීටර් පනහක් ද පහළින් මීටර් එකසිය පහළොවක් ද ප‍්‍රමාණයක් අවදානම් ප‍්‍රදේශයක් ලෙස හඳුනාගෙන ඇති බවය.

මූලිකවම හඳුනාගනු ලැබූ ඉහළ ගල් අතරින් වතුර කාන්දු වූ තත්ත්වයන් මේ වන විට වළක්වා දමා ඇති අතර අභ්‍යන්තරයට කාන්දු වූ ජලය විදුම්කරණය ඔස්සේ ඉවතට ගනිමින් සිටින බවද කියා සිටියහ.

වැසි ජලයෙන් කෙළින්ම ලැබෙන ජලය සහ පොළොව මතට වැටෙන ජලයත් බැහැරට ගලායන වතුර ප‍්‍රමාණයක් සමාන්‍ය ගැටලූකාරී තත්ත්වයක් ඇති නොවන බවත් ඒ වෙනුවෙන් මේ වන විට ක‍්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් ඔවුහු කීහ. දැනටමත් සුළු සුළු විචල්‍ය තත්ත්වයන් පවතින බවත් එසේ සිදුවන්නේ ඇයිද යන්න දීර්ඝ ලෙස පරීක්ෂණ සිදුකෙරෙන බවත් කී ඔවුහු සියලූ පිරිස් එක්ව පාංශු අංශු අතර ශක්තිය වැඩි කිරීමට අදාළව සහ ස්වභාවිකවම ස්ථාවර වීමට කළ යුතු සියලූම තාක්ෂණික ක‍්‍රමවේදයන් මේ වනවිට ක‍්‍රියාත්මක කරන බව ද කීය.

ඒ අනුව පරිසර පද්ධතියන් යළි යථා තත්ත්වයට පත්වීම කටයුතු සිදු වන්නේය.

කෑගල්ල දිස්ත‍්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා ප‍්‍රකාශ කොට සිටියේ අපූරු කතාවකි. පහළ කඩුගන්නාව ප‍්‍රදේශයේ ජීවත්වන හයසීයකට ආසන්න යැපෙන්නන් සංඛ්‍යාවකගේ බඩ ගින්දර නිවාලන කඩ පේලි පනහ සම්බන්ධයෙන් ඔහු අවධානය යොමු කොට සිටී. ‘‘අපි දැන් හොයා බලන්න ඕනේ මේ මිනිස්සු ජීවත් වෙන්නේ ඔවුන්ගේ ජීවන වෘත්තිය සිදු කරගෙන යන්නේ කොහොමද කියලා. පහළ කඩුගන්නාවේ පලතුරු රසකැවිලි සෙල්ලම් බඩු බඩඉරිඟු රොටී වැනි වෙළෙඳ සල් පවත්වාගෙන ගිය පිරිස වසර තිහ හතළිහකට ආසන්න කාලයක් එහි ජීවත් වූ අයයි. ඔවුන් සම්පූර්ණයෙන්ම මෙම ප‍්‍රදේශයෙන් ඈතට ගොස් කිසියම් වෘත්තියක් කරගෙන යන්නට කැමැත්තක් දක්වන්නේ නැහැ. මොකද ඔවුන් ඔවුන්ගේ වෘත්තිය කරගෙන යන්නට හුරුව සිටියේ මේ ප‍්‍රදේශයේ නිසා.

මේ වන විට සංචාරක කටයුතු අමාත්‍යාංශය සමඟ සාකච්ඡා පවත්වමින් මේ පිරිස් සඳහා ඉදිරියේ දී ගත යුතු ක‍්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා පවත්වා තිබෙනවා. ඒ ආසන්නයේම කඩ කාමර ඉදිකොට ඔවුන්ට ඔවුන්ගේ වෘත්තිය කරගෙන යෑමට අවශ්‍ය පසුබිම සකස් කරලා දෙනවා. ඒක රජයේ වගකීමක්….‘‘ දිසාපති වරයා කියා සිටියේය.

ඕනෑම සමාජයක් තමන්ට ආවේණික වෘත්තියක නියැළීම සාමාන්‍ය සංසිද්ධියකි. එපරිද්දෙන්ම පහළ කඩුගන්නාවේ කඩ පනහේ වැසියෝ තම තමන් මෙතෙක් කරගෙන ආ වෘත්තියෙහි නියැළීමට පමණක් කැමැත්තක් දක්වයි. කඩ පේළියෙ ජීවිත ගලා යන්නේ එකම දිශාවකට වැන්න. මෙහි වෙසෙන සෑම සියලූ දෙනාම එකම පවුලක පුරුක් සේ එකට බද්ධ වූ අය ය.

මහනුවරට යන්න කඩුගන්නාව මඟ හරින්න වෙයිද?
1970 වසරේදී පමණ විදේශීය සංචාරකයන්ට තොරොම්බල් බඩු විකිණීමට මහමගට බැස එය නිත්‍ය වෘත්තිය කරගත් කාන්තාවන් අට දෙනකුගෙන් පහළ කඩුගන්නාවේ කඩ පේළිය ආරම්භ වී තිබිණි. වයලට් පිලොමිනා ලොකී තිසේරා යනු එහි මුල් සාමාජිකාවය. මේ වන විට ඇය වසර හැත්තෑ හයක කාලයක් පහළ කඩුගන්නාවේ කඩ පේළියේ වාසය කර ඇත. සෙසු හත්දෙනාම ඇයගේ සහෝදරියන් ය. ඉහළ ආදායමක් සහිතව පහළ කඩුගන්නාව භූමිය සිය තොරම්බල් වෙළඳාමට තෝතැන්නක් කර ගත් මේ පිරිස එහිම පදිංචි වූයේ පවුල් පන්සල්ව දරුමල්ලෝ ද හදාගෙන ය. දැන් මේ හත්දෙනාගෙ පවුල 600කට ආසන්න සාමාජිකත්වයකින් යුත් විශාල පවුලක් බවට පත්ව පහළ කඩුගන්නාවේ කඩ පේලියෙ සිට කාටත් ණය නැති ජීවිතයක් ගත කළහ. අද ඒ සියලූ දෙනා තම තමන්ගේ වෘත්තීන් අහිමි වීමේ දුක දරා ගනිමින් සොබාදහමට අවනත ද වෙමින් මේ ඉසව්වෙන් නික්ම ගොස් තිබේ.

ඒ පවුලේ තවත් සාමාජිකයෙක් වන මේ කඩපිලේ වෙළෙඳ සංගමය සභාපති වන චන්දිම දිලූක්ෂ ලකී තිසේරා සිය සගයින් දිය දුක් වේදනා සම්බන්ධයෙන් මෙසේ කීය.

‘‘අපි හැමෝම ජීවත් වුණේ මේ කඩ පේළිය නිසා. සංචාරකයෝ අඩුවෙන්න අඩුවෙන්න කොවිඞ් කාලේ අපිට ලොකු ප‍්‍රශ්න ඇති වුණා. ඉන්පසු හුස්මක් කටක් ගත්තා විතරයි සොබාදහම අපට එරෙහි වුණා… නමුත් සිද්ධ වෙන්නේ මොකද්ද කියලා අපි බලාගෙන ඉන්නවා. මේක කවුරුත් විසින් කරපු දෙයක් නෙවෙයිනෙ. අපිට යුක්තිය සාධාරණය ඉටු කරන්න මේ රජය කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.‘‘

පහළ කඩුගන්නාවේ කීර්ති නොදන්නා අයෙක් නැති ගානය. ඔහුද සිය ව්‍යාපාරික කටයුතු කරගෙන යයි. ‘‘මේ වෙනකොට ඉතින් අපේ ආදායම් මාර්ග සියල්ලම නැතිවෙලා ගිහිල්ලා. ඒත් අපි බලාගෙන ඉන්නවා අපිට යුක්තිය සාධාරණය ඉටු වෙනකල්. කාගෙවත් අතේ වරදක් නැති වුණාට අපේ බඩගින්න නිවා දමපු කඩවල් ටික ගලවගෙන යනකොට පපුව පිච්චෙනවා වගේ දැනුනා. ඒ වේදනාව මේ මොහොතටත් තියෙනවා. නමුත් මෙදා සැරේ අපේ කාගෙවත් ජීවිතවලට කිසිම හානියක් සිදු වුණේ නැති ගැන අපි දෙවියන්ට ස්තුතිවන්ත වෙනවා.’

නායයෑමේ අවදානම ඇති මෙම කොටස මෙයට පෙර එක් අවස්ථාවකද සෙලවී ඇති බවට සාධක තිබේ. 2016 වසරේ එක්තරා දවසක මීට ආසන්නතම පෙදෙසක තිබූ විශාල ගසක් කඩා වැටී මේ කඩපෙලහි කඩයක් සුනු විසුනුවී ගොස්, වෙළෙඳ සලේ හිමිකරු මියගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ චින්තක නමැති තිස්තුන් හැවිරිදි එක්දරු පියෙකි. ඔහුද ලකී තිසේරා පවුලේ සාමාජිකයෙකි. එදවස එසේ ගසක් කඩා වැටී ඇත්තේ අද මෙලෙස පහළට ඇදෙමින් තිබෙන භූමියේම මායිමකිනි. එනමුත් ඉන් අනතුරුව මේ තාක් මේ භූමිය කෙරෙහි කිසිවකුගේ වැඩි විමසිලිමත්භාවයක් ඇති නොවූ බව කිව යුතුය. එදා සිට ඒ භූමිය සම්බන්ධයෙන් විමසිලිමත් වූවා නම් අද වන විට ඊට නිසි පිළියම් යෙදීමට කාටත් හැකිවන්නට තිබිණි.

අවදානම් කොටසේ දෙපස අනතුරු ඇඟවීමේ ක්ෂණික සංඥා පද්ධති සවි කිරීමට මේ වන විට සැලසුම් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ආසිරි කරුණාවර්ධන මහතා කියා සිටියේය. යම් කිසි මොහොතක නායයෑමේ මූලික ලක්ෂණ පහළ වුවහොත් ඒ මොහොතේම ස්වයංක‍්‍රීය සංඥා පද්ධතිය ක‍්‍රියාත්මක වන අතර ඒ අනුව වහා ක‍්‍රියාත්මක වෙමින් මාර්ගයේ ගමනාගමනය නතර කරදැමීමට හැකිවන බවද, තවද අනතුරු ඇඟවීමේ රතුඑළි දැල්වීම සඳහා ද කඳුකර ප‍්‍රදේශයේ කිසියම් වෙනසක් වහාම හඳුනාගත හැකි ලෙස විහිදුනු ආලෝකය විදුලි බල්බ ඔස්සේ ලබා දීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කර ඇති බව ද හෙතෙම කියා සිටියේය. මේ වන විට අවදානම් සහිත ප‍්‍රදේශයේ අවදානම් තත්ත්වය තරමක් පහව ගොස් ඇත. දිගින් දිගටම පවත්නා වර්ෂා තත්ත්වය ඒ අවදානම යළි මතු කිරීමට උත්සාහ දරනවා වැන්න. එදා පහළ කඩුගන්නාවේ බැස සුන්දර බතලේගල, දෙවනගල, මාකෙහෙල්වල, ගනේතැන්න ගම්මාන අසිරිය දැක සතුටු වී මතක සටහන් තබා ගිය පිරිස් අද මරබියෙන් මේ පෙදෙස පසු කර යයි.

ඒ උදවියට කියන්නට යමක් ඇත. එදා ඔබේ මුදලින් යැපුන සියක් ජීවිත අද ද ඒ පෙදෙසෙහි ම වෙසෙන බව ය.

සමන්ති වීරසේකර / www.divaina.lk

 330 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply