කිරි පැණි වගේ “ආදරෙන්” හිටපු අය දික්කසාද ඉල්ලා උසාවි යන්නේ ඇයි?

ආදරෙත් හරියට සුළඟ වගේමයි. කොහෙන් පටන් ගන්නවද කොහෙ තියෙනවද කොහෙ යනවද දන්නෑ. පේන්නෙත් නෑ. ඒත් දැනෙනවා. වෙලාවකට හරිම සුවදායකයි. සුළඟ ඇඟට වැදීමත් සුන්දර මිහිරි අත්දැකීමක්. ඒත් වෙලාවකට ප්‍රචණ්ඩයි. විනාශ කාරීයි.
ටිකක් කිට්ටුයි ඒ උපමාව ආදරේට නේද? “Love comes on lip ties and leaves with a bang” කියල කියමනක් තියෙනවා. ආදරේ එන්නේ ඇඟිලි තුඩුවලින්ලු (නොදැනීම නිහඬව) ඒත් යන්නේ මහා සද්දයක් එක්කලු. (දොර තදින් වසාගෙන)
ඒක ඇත්ත. ආදර වියෝවක් වුණොත් ඒකෙන් ඇතිවෙන දුක වේදනාව සමහරවිට ප්‍රචණ්ඩත්වය හරිම උග්‍රයි.සාමාන්‍යයෙන් දෙදෙනෙක් විවාහ වෙන්නේ වෙන්වෙන්න බලාගෙන නෙමේ. හැමදාම ආදරෙන් ඉන්න බලාගෙන. ඒත් මේ ආදරය දිගටම පවත්වාගෙන යන එක ඒ තරම් ලේසි නෑ.කෙනෙකුට මුලින්ම ආදරෙන් ළංවෙද්දි නම් ඒක හරිම මිහිරි අත්දැකීමක්. ක්‍රමයෙන් ඒ ආදරය ලියලා වැඩෙද්දි එකනෙකාව දැකීමේ ආශාව, නිතර ළංවී සිටීමට ඇති පෙළඹීම පවා හරි පුදුම විදිහට වැඩිවන හැටි ආදරය කරන අයට ඉතා හොඳින්ම දැනෙන දෙයක්. සමහර ආදරවන්තයො එකිනෙකාට ඇති ආකර්ෂණය, ලැදියාව, නොයෙක් විදිහෙන් පෙන්නනව බඳින්න කලින්. මේ දෙන්නව නං ආයෙ මේ කපේට වෙන්කරන්න නම් ලැබෙන්නෙ නෑ කියල හිතෙනව.

ඒත් සමහරු ඒ තරම් ගැඹුරු ආදරයකින් හිටියත් බැඳල කලක් ගතවෙද්දී බොහෝවිට ඒ ලෙන්ගතුකම ඒ මිහිරියාව ඉතා සීඝ්‍රයෙන් අඩුවන බවකුත් දකින්න ලැබෙනවා. සමහරු සණ්ඩු සරුවල් ඇති කරගන්නවා. ආදරේ ටික ටික හීන වෙලා නැතුවම යන අවස්ථාත් තියෙනව. ඊටත් එහා ගිහින් එකිනෙකාට වෙන්කරන සාපකරන අවස්ථාවන් එන්නත් පුළුවන්.දෙවියන් අබියස දේවස්ථානයකදී අන්‍යෝන්‍ය ආදරය ප්‍රකාශ කර මුදු පැළඳි දෙදෙනෙක්, ටික කලකට පස්සෙ යුද ප්‍රකාශ කර උසාවියෙ විනිශ්චයකරුවෙක් අභියස දික්කසාදය ඉල්ලා හිටින හැටිත් දකින්න ලැබෙන අවස්ථා තියෙනවා. ඇත්තටම ඇයි මෙහෙම වෙන්නෙ? පුදුම විදිහට ආදරෙන් හිටපු දෙන්නෙක් ඒක ටින්කෙන් ටික නීරස අත්දැකීමක් බවට පත් කරගනෙ ඇයි? හැමදාම ආදරෙන් ඉන්න බැරිද?

ඇත්තටම පුළුවන්. ඒත් ඒ “ආදරය” තිබුණොත් පමණයි. ඇත්ත “ආදරයක්” තිබුණොත් විතරයි ඒ ආදරය සදාකාලිකව තියාගන්න පුළුවන් වෙන්නෙ. ඒත් අවාසාවකට වගේ විවාහ පන්වන බොහෝ දෙනෙක්, පෙමින් වෙලෙන බොහෝ දෙනෙක් ඇත්තටම කරන්නේ එකිනෙකාට “ආශාවීමක්” මිසක් “ආදරය” කිරීමක් නොවේ. “ආලය” කියලත් සිංහලෙන් හඳුන්වනව මේ එකිනෙකාට ඇති ආශාව, ආකර්ෂණය.ආදරය තුළ ආශාව මස්ඵල ගැන්විය හැකියි. ඒත් ආදරය කියන්නෙ ආශාවටත් නෙමේ, ආශාව කියන්නෙ ආදරයටත් නෙමේ.බොහෝදෙනෙක් කරන්නෙත් ආදරේ නෙමේ. ආශාවීමක් පමණයි සේරම ප්‍රශ්නවලට මුල එතනයි.
ඒ හින්දා අපි මේ ආදරය සහ ආශාව අතර ඇති වෙනස ගැන ටිකක් කතා කරමුද?

  1. ආදරය පවසන්නේ – මගේ ජීවිතේ කේන්ද්‍රස්ථානය ඔබයි. මම ජීවත්වෙන ඔබ වෙනුවෙන්. මම කරන සැමදේකම අරමුණ ඔබව සතුටින් තැබීමයි. ඒත් ආශාවෙන් පැවසෙන ඒකෙ ප්‍රතිවිරුද්ධ අදහස. “ඔබේ අරමුණ විය යුත්තෙ මාව පිනවීමයි. ඔබ ඉන්නෙ මා වෙනුවෙන් විය යුතුයි. මගේ සෑම ආශාවක්ම ඉටුකිරිම ඔබේ යුතුකම ලෙස සිතිය යුතුයි. ඔබ ලවා මගේ සියලු ආශාවන් ඉටුකරගැනීමට ඔබ සූදානමින් සැමවිටම ඉදිරිපත් විය යුතුයි.”
  2. මම ඔබට ආදරය කරන්නේ ඔබේ රූපයට, ලාලිත්‍යයට ධනයට මුදලට දෑවැද්දට හෝ ඔබ සතු කිසි වටිනා (භෞතික)
    දෙයක් නිසා නොවෙයි.

මා ඔබට ආදරය කරන්නේ ඔබේ ගතිගුණ, ඔබේ අව්‍යාජ ස්වරූපයට හෙවත් “ඔබේ කමටයි.” “I love you because you are you.” ඒකයි. ආදරයේ හඬ! එහෙත් ආශාව පැත්තෙන් කියවෙන්නෙ වෙන දෙයක්.”මම ඔබේ රූ සපුවට ඔබේ ආකර්ෂණීය සිරුරට වශී වී සිටින නිසා එයට අතිශයින් ඇලුම් කරමි. ඔබේ ආකර්ෂණීය සිරුර මා තුළ පිබිදීමක් ඇති කරයි. ඔබේ මිල මුදලට දෑවැද්දට දේපළට මම ගිජුවෙමි. එයට ආශා කරමි.”මේකෙන් අදහස් වෙන්නෙ මොකක්ද? ඔබට මිල මුදල් නැති වුණොත්, දෑවැද්දක් නැති වුණොත්, ඉඩකඩම් වත්කම් නැති වුණොත් ඒ “ආශාව” නැතිවන බවයි නේද? “ඔබේ රූ සපුවේ සුන්දර බව වයස්ගත වීමත් සමග ක්‍රමයෙන් වියැකෙද්දී, සමහරවිට විඩාපත් අශෝබන සිරුරක් බවට පත්වෙද්දී, මා තුළ ඇතිවන පිබිදීම නැති වන නිසා තවදුරටත් මට ඔබෙන් වැඩක් නැහැ.” කියන අදහස නෙමේද? ඔව්. ඇත්තටම ඒක තමයි ඇත්ත. සිරුරේ හැඩයට මූණ ලස්සනට විතරක් කෙනෙක් ආශා වුණොත් ඒ ආශාව නැතිවෙන එක නැතිවෙනවාමයි කවදහරි දවසක.

  1. “මගේ දහඩිය, මගේ රැකියාව, මගේ උපයන මුදල්, මා සතු සැම දේ ඔබ වෙනුවෙනි. මින් මතු මගේ කියා දෙයක් නැත. සියල්ල අපේ යයි සිතා කටයුතු කරමු.” ආදරය එහෙම කියද්දී ආශාව කෙළින්ම ඊට විරුද්ධ වෙනව. “ආශාව” කියන්නෙ මෙහෙම. මගෙ සල්ලි මා ළඟ, ඔයාගෙ සල්ලි ඔයා තියාගන්න. නැත්නම් ඒකත් මට දෙන්න. එයාගෙ ධනය රැකියාව යනාදි හැමදේම මගේ ආශාව කැමැත්ත විදිහට වෙන්න ඕන.
  2. “මම ඔයාට උදව් කරන්නම්. ගෙදර වැඩට පෞද්ගලික වැඩට දරුවගෙ වැඩට. හැමදේටම සහකරුවෙකු වෙන්නම්..ආදරය එහෙම කියද්දී ආශාව මෙහෙම කියනව. මම කැමැති විදිහට මගෙ කටයුතු කරගන්නම්. ඔයා ගෙදර වැඩ, කුස්සියෙ වැඩ දරුවන්ගේ වැඩ සේරම කරන්න. මගේ ඇඳුම් සේදීම මැදීම කෑම ටික දීම වගේ දේත් කරන්න. මට වෙනත් වැඩ තියෙන නිසා..”
  3. ආදරය කියන්නෙ දීමක්. දිගින් දිගටම දීමක්. කිරන්නේ මනින්නෙ නැතුව මුළු ජීවිතයෙන්ම ආදරය පිදීමක්. මැනලා වී දුන්නා වගේ නෙමේ ඒත් ආශාවට විතරක් සීමා වූ කෙනාගේ මේ “දීමේ” සංකල්පයත් හරිම සීමිතයි. පටුයි. ආදරය නොදී ආදරය ගන්න තමයි බලන්නේ. ආදරය නොදන්නා පුද්ගලයා හදන්නෙ හැමදේම සහකරගෙන්/සහකාරියගෙන් ගන්න මිසක් දෙන්න නෙමේ. සීමාරහිතව ඔහුගෙන්/ඇයගෙන් වැඩගන්නව, ඩැහැගන්නව ගරාගන්නව. හැබැයි මේ සිද්ධවෙන්නේ නොදැනුවත්ව වෙන්නත් පුළුවන්. ඒත් දැනගෙන කළත් නොදැන කළත් අවසාන ප්‍රතිඵලය ඒකමයි.
  4. ආදරය කියන්නෙ “මම” කියන සංකල්පය නැති කරගැනීම. තමන් ගැන විතරක් හිතන මිනිහෙකුට කවදාවත් ආදරය කරන්නත් බෑ. හරි විදිහෙ ආදරයක් ලබන්නත් බෑ. ලැබුණත් වින්දනය කරන්නත් බෑ. ආදරය සැබැවින්ම අඳුනන කෙනා නිරතුරුවම බලනෙ අනිත් කෙනා සමග “අපි” කියන අදහස ජීවත් කරවන්න “අපි දෙදෙනාට අපි දෙදෙනා අන්‍යෝන්‍ය තෑග්ගක් වෙමු.”

“මම” වෙනුවට “අපි කියන අදහසින් ජීවිත්තේ ගෙනියමු.” කියන එක තමයි ඇත්තටම ආදරය කරන කෙනෙක්ගෙ ජීවන රටාව විය යුතයි.ඉහත කරුණු ඇසුරෙන් ටිකක් හිතන්න. ආදරය හා ආශාව හෙවත් කැමැත්ත කියන දෙකක් බව තේරෙයි. ආශාව කවදත් දේදුන්නක් වගේ. අස්ථිරයි. ස්ථිරවම නැතිවෙනව. වියැකෙනව ආශාව විවාහයක් තුළ නැතිව ගිය දාට ආදරයක් තිබුණ නං ඒක විතරයි ඉතුරුවෙන්නේ.

ඒත් ආදරය කියල වැරදි ලේඛල් ගහගෙන ආශාව මුල්කරගෙන දෙන්නෙක් ළංවුණාම ඒ දෙන්නට වෙන්වෙන්න සිද්ධවීම පුදුමයක් නෙමේ. දෙදෙනෙක්ව අනෝන්‍යව බැඳ තබන්නේ ආදරය මිසක් ආශාව නෙමේ. ආදරය කවදාවත් නැති වෙන්නේ නෑ. ඒත් ආශාව නැතිවෙනවා. ඒ නිසා ආශාව උඩ තම එක්වීම සිදුකරගන්නා අයට විවාහය අමිහිරි වීම, වෙන් වෙන්න සිදුවීම පුදුමයක් නොවේ.

උපුටන සටහන- මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු

 293 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply