කැන්ග‍රුවෝ පාකිස්තානයේ අපරාජිත වාර්තාව බිඳ දමති!

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (11 වැනිදා) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී කඩුලු 5 කින් පාකිස්තාන පරාජය කළ ඕස්ට්‍රේලියාව තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය. 2010 අනු ශූරයන් වූ ඕස්ට්‍රේලියාව විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියක අවසන් මහ තරගයට පිවිසි දෙවැනි අවස්ථාව මෙය විය.

ඒ අනුව ඉරිදා (14 වැනිදා) ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අවසන් තරගයේදී නවසීලන්තයට එරෙහිව ඕස්ට්‍රේලියාව තරග බිමට පිවිසෙනු ඇත. පෙරේදා (10 වැනිදා) අබුඩාබිහිදී පැවැති පළමු අවසන් පූර්ව තරග‍යේදී එංගලන්තය පරාජය කළ නවසීලන්තය කල් වේලා ඇතිවම අවසන් මහ තරග‍යේ ස්ථානයක් වෙන්කරවා ගත්තේය.  

ජයග්‍රහණය සඳහා ලකුණු 177 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානුවෝ ඕවර 19 ක් අවසනයේ කඩුලු 5 ක් පමණක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. ලකුණු 95 කට කඩුලු 5 ක් බිඳවැටී තිබියදී පිටියේ එක්වූ මාකස් ස්ටොයිනිස් (නොදැවී 40) සහ මැතිව් වේඩ් (නොදැවී 41) හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 41 කදී ලකුණු 81 ක වේගවත් නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනගමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළහ.  

මැතිව් වේඩ් ලකුණු 21 ක් ලබා සිටියදී ශහීන් අෆ්රිඩිගේ පන්දුවක් (18.3) හමුවේ ලබාදුන් උඩ පන්දුවක් බැක්වඩ් ස්කුවෙයාර් ලෙග් කළාපයේ සිට බිම දැමූ හසන් අලී, ඕස්ට්‍රේලියාවට අවසන් මහ තරගයට පිවිසීම සඳහා මාවත විවර කර දුන්නේය. ඉන් අනතුරුව අෆ්රිඩි යැවූ පන්දු 3 ට පිට පිටම හයේ පහර 3 කින් සංග්‍රහ කළ වේඩ්, තවත් ඕවරයක් ඉතිරිව තිබියදීම සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

පන්දු 31 කට මුහුණදුන් ස්ටොයිනිස් හයේ පහර 2 කින් සහ හතරේ පහර 2 කින් සිය ඉනිම අලංකාර කළ අතර පන්දු 17 කදී වාර්තා වූ වේඩ්ගේ වේගවත් ඉනිම හයේ පහර 4 කින් සහ හතරේ පහර  2 කින් සමන්විත විය. ඕස්ට්‍රේලියානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් පන්දු 30 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 49 ක් ලබා සිටියදී අර්ධ ශතකය පෙනී පෙනී දැවී ගියේය.

විස්සයි-20 ක්‍රීඩා දිවිය තුළ සිය දෙවැනි හොඳම පන්දු යැවීම ප්‍රදර්ශනය කළ ශදාබ්, එහිදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ බල කණු 4 ක් පිටියෙන් ඉවත් කළේ ඕවර 4 ලකුණු 26 කට සීමා කරමිනි. ‍මිචෙල් මාෂ් (28), ස්ටීවන් ස්මිත් (5), ග්ලේන් මැක්ස්වෙල් (7) සහ ඩේවිඩ් වෝනර් එහිදී ශදාබ්ගේ ගොදුරු බවට පත්වූහ. පාකිස්තානයට සාර්ථක ආරම්භයක් ලබාදුන් ශහීන් අෆ්රිඩි පළමු‍ ඕවරයේ තෙවැනි පන්දුවේදීම නායක ඒරන් ෆින්ච් ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවුයේ ඔහු ලකුණු ලබාගැනීම ‍ආරම්භ කිරීමටත් පෙරාතුවය.

කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියානු නායක ඒරන් ෆින්ච්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය, ඉදිරි පෙළ පිතිකරුවන්ගේ අගනා පිතිහරඹය හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 4 ක් දැවී ලකුණු 176 ක් ලබාගත්තේය. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු මොහාමඩ් රිස්වාන් පන්දු 52 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 67 ක් රැස්කරමින් පාකිස්තාන ඉනිමේ කොඳු නාරටිය බවට පත්විය.

මෙම තරගාවලිය තුළදී රිස්වාන් ලබාගත් තෙවැනි අර්ධ ශතකය මෙය වන අතර මේ වන විට ඔහු තරග 6 කදී ලකුණු 281 ක් ලබා වැඩිම ලකුණු ලාභීන්ගේ ලැයිස්‍තුවේ දෙවැනි ස්ථානයේ පසුවේ. මෙම වසර තුළදී විස්සයි-20 ලකුණු 1000 සීමාව පසුකළ පළමු ක්‍රීඩකයා බවට පත්වීමටද එහිදී රිස්වාන් සමත් විය. මේ වන විට මෙම වසර තුළ පමණක් තරග 23 කට ක්‍රීඩා කර ඇති ඔහු එහිදී ශතකයක් සහ අර්ධ ශතක 10 ක් සමග රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 1033 කි.

ලකුණු ලබාගැනීමට පෙර ග්ලේන් මැක්ස්වෙල්ගේ පන්දුවක් හමුවේ (2.3) ලබා දුන් උඩපන්දුවක් මිඩ් ඕෆ් කළාප‍යේ පන්දු රකිමින් සිටි ඩේවිඩ් වෝනර් අතින්ද, ලකුණු 20 ක් ලබා සිටියදී පැට් කමින්ස්ගේ පන්දුවක් හමුවේ (6.6) ලබා දුන් උඩපන්දුවක් ෆයින් ලෙග් කළාපයේ පන්දු රකිමින් සිටි ඇඩම් සම්පා අතින්ද ගිළිහී යෑම හේතුවෙන් රිස්වාන්ට තවදුරටත් කඩුල්ලේ රැදී සිටීමට අවස්ථාව උදා විය.

නායක බාබර් අසාම් (39) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 60 කදී ලකුණු 71 ක සම්බන්ධතාවක් ගොඩනැගූ රිස්වාන්, ඉන් නොනැවතී ෆකාර් සමාන් (නොදැවී 55) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 46 කදී ලකුණු 72 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් පාකිස්තාන ඉනිම ගොඩනැගුවේය. එහිදී පන්දු 32 කට මුහුණදුන් සමාන් හයේ පහර 4 කින් සහ හතරේ පහර 3 කින් සිය ඉනිම සැරසුවේය. අවසන් ඕවරයේදී මිචෙල් ස්ටාක්ට පිට පිටම හයේ පහර 2 කින් සංග්‍රහ කරමින් සමාන් සිය අර්ධ ශතකය ලබාගත්තේය.

මුල් ඕවර 6 (අධිවේගී) අවසානයේ කිසිවකු නොදැවී ලකුණු 47 ක් රැස්කිරීමට පාකිස්තාන පිකිරුවෝ සමත් වූ අතර එය මෙම තරගාවලියේ තරගයකදී මුල් ඕවර 6 තුළ ඔවුන් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවද විය. මේ දක්වා පාකිස්ථාන කණ්ඩායම ක්‍රීඩා කළ තරග 6 න් තරග 4 කදීම මුල් ඕවර 6 තුළදී ප්‍රතිවාදීන්ට කඩුල්ලක් ලබාදී නොතිබීමද කැපී පෙනෙන සිදු වීමක් විය. පන්දු 40 කදී ලකුණු 50 සීමාව පසුකළ පාකිස්තානුවෝ පන්දු 83 කදී ලකුණු 100 සීමාවද, පන්දු 106 කදී ලකුණු 150 සීමාවද පසු කළහ.

පාකිස්තාන ඉනිමේ පළමු කඩුල්ල ලෙස බාබර් අසාම් පිටියෙන් ඉවත් කිරීමට ඇඩම් සම්පා සමත් විය. ලෝන් ඕන් කළාප‍යේ පන්දු රකිමින් සිටි ඩේවිඩ් වෝනර් අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට පන්දු 34 කට මුහුණදී සිටි අසාම් හතරේ පහර 5 කින් සිය ඉනිම සරසා තිබිණ. එහිදී විස්සයි-20 ලකුණු 2500 සීමාව පසුකර යෑමටද අසාම් සමත් වූ අතර ඒ සඳහා ඔහුට තරග 67 ක් වැය වී තිබිණ. තවදුරටත් මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණේ පසුවන අසාම්, මේ වන විට තරග 6 කදී ලබා සිටින ලකුණු සංඛ්‍යාව 303 කි.

පැට් කමින්ස් යැවූ පාකිස්තාන ඉනිමේ 19 වැනි ඕවරයේ පළමු‍වේදී ලෝන් ඕන් කළාපයේ පන්දු රකිමින් සිටි ස්ටීවන් ස්මිත් අතට උඩ පන්දුවක් දෙමින් අසීෆ් අලී ලකුණු නොළබා දැවී ගියේය. එහෙත් එම ‍ඕවරයේම දෙවැනි පන්දුවේදී ෆකාර් සමාන් (ලකුණු 40 ක් ලබා සිටියදී) ලබාදුන් උඩ පන්දුවක් ඒ වන විට ලෝන් ඕෆ් කළාපයේ පන්දු රකිමින් සිටි ස්මිත්ට රැකගැනීමට නොහැකි විය. කෙසේ වුවත් මලික්ට වැඩි‍වේලාවක් පිටියේ රැදී සිටීමට ඉඩක් ලබා නොදුන් මිචෙල් ස්ටාක් 19 වැනි ඕවරයේ 2 වැනි පන්දුවේදී ඔහුගේ කඩුල්ල බිඳ දැමුවේය.

 422 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply