රටක් බලා සිටින අයවැය අද පස්වරුවේ පාර්ලිමේන්තුවට!

2022 වසර සඳහා වන අයවැය යෝජනා පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කෙරෙනවා. ඒ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින්. එය ඔහු විසින් ඉදිරිපත් කරන පළමු අයවැයයි. මෙවර ඉදිරිපත් කෙරෙන්නේ මෙරට ඉතිහාසයේ 76 වන අයවැය වාර්තාවයි. ඒ සඳහා සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ හා රෙගුලාසිවලට අනුව මෙවර පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට නියමිත බවයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළේ.

අයවැය යෝජනා අද ඉදිරිපත් කිරීමෙන් පසු හෙට සිට දෙසැම්බර් 10 වනදා තෙක් අයවැය විවාදයේ දෙවැනිවර කියවීමේ විවාදය දින 07 ක් සහ කාරක සභා අවස්ථා විවාදය දින 16 ක් පැවැත්වෙනවා. දෙවන වර කියවීමේ විවාදය හෙට සිට ලබන 22 වනදා දක්වා පැවැත්වෙන අතර එම ඡන්ද විමසීම එදින පස්වරු 05 ට සිදු කිරීමට නියමිතයි. කාරක සභා විවාදය ලබන 23 වනදා සිට දෙසැම්බර් 10 වනදා දක්වා පැවැත්වෙනවා.

අයවැය විවාදය සමයේ පාර්ලිමේන්තු රැස්වීම් පෙරවරු 09 යි 30 ට ආරම්භ වන අතර පෙරවරු 10 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කෙරෙන ප්‍රශ්ණ සඳහා වෙන් කර තිබෙනවා. පෙරවරු 10 යේ සිට පස්වරු 05 දක්වා විවාදය සඳහා ද පස්වරු 05 හේ සිට පස්වරු 05 යි 30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීම සඳහා ද වෙන් කර තිබෙනවා.

අයවැය තුන්වන වර කියවීමේ ඡන්දය දෙසැම්බර් මස 10 වනදා පස්වරු 05 ට පැවැත්වෙන බවයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළේ. අයවැය විවාදය පැවැත්වෙන කාල සීමාව තුළ මහජන ගැලරිය මහජනතාව සඳහා විවෘත නොවන අතර රාජ්‍ය නිලධාරීන් සීමිත පිරිසකට පමණක් අයවැය කාරක සභා අවස්ථාවට සහභාගි වීමට අවසර ලබාදී තිබෙනවා.

අයවැය කතාව ඉදිරිපත් කරන අද දිනයේ ආරාධිත විදේශ රාජ්‍ය තාන්ත්‍රික තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් වෙනුවෙන් විශේෂ අමුත්තන්ගේ ගැලරිය විවෘත කිරීමට තීරණය කර ඇති බවයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පැවසුවේ. මාධ්‍ය අවසරපත් නිකුත් කළ පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන්ට පමණක් සෞඛ්‍ය නීතිරීතිවලට යටත්ව මෙය ආවරණය කිරීමට අවසර ලබාදී තිබෙනවා.

අයවැය කතාව ඉදිරිපත් කරන අද දිනයේ පාර්ලිමේන්තු සංකීර්ණයට ප්‍රවේශ වීමට අවසර ලත් සියලුම දෙනා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකට ලක් කෙරෙනු ඇති. අයවැය කතාව අවසානයේ මුදල් අමාත්‍යවරයා විසින් පිරිනමන සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහය ද සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මන්ත්‍රී භෝජනාගාරයේදී පැවැත්වෙනවා.

නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම මුදල් අමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතා ප්‍රථම අයවැය 1947 වර්ෂයේදී ඉදිරිපත් කළ අතර මෙවර අයවැය ලේඛණය ඉදිරිපත් කරනු ලබන බැසිල් රාජපක්ෂ මෙරට 22 වන මුදල් අමාත්‍යවරයා වනවා. මුදල් අමාත්‍යවරුන් ලෙස රොනී ද මෙල් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අයවැය යෝජනා 11 බැගින් ඉදිරිපත් කර තිබෙනවා.

මෙවර ඉදිරිපත් කරනු ලබන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජන රජයේ 07 වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ එනම් 09 වන පාර්ලිමේන්තුවේ දෙවන අයවැය ලේඛණයයි. 2022 වර්ෂය සඳහා වන අයවැය යෝජනා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් අද පස්වරු 02 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 328 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0

Leave a Reply