හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ආණ්ඩුව තුළ බහුතර කැමැත්තක් නො තිබුණු අතර ඔහුට අවශ්‍ය සහාය රැගෙන දුන්නේ තමන් බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (06) සාක්ෂි ලබා දෙමින් පවසා තිබේ.

ඔහු මේ බව පැවසුවේ, පසුගිය ආණ්ඩුව තුළ සියලු දෙනාගේ සහායෙන් තමන්ට ආණ්ඩුව පවත්වාගෙන යාමට හැකි වූයේ මාස හයක පමණ කාලයක් පමණක් බවට ඉකුත් (05) වැනි දා කොමිසම හමුවේ හිටපු ජනාධිපතිවරයා ලබා දී තිබූ සාක්ෂියට පිළිතුරු ලබා දෙමිනි.

හිටපු ජනාධිපතිවරයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ හෝ බහුතර බලයක් නො තිබුණු බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ය.

2015 වසරේ ජනාධිපතිවරණයේ දී සමහර අය එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයාට අකමැති වූ බවත්, මම චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගෙන් ඇහුවහම ඡන්දයට ඉදිරිපත්වෙනවද කියලා ඇය ද කැමැත්තක් දැක්වූයේ නැති බවත්, ඉන් පසු තමා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමඟ සාකච්ඡා කර මෛත්‍රීපාල සිරිසේන මහතාව මුණගැසී පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට මෛත්‍රී මහතා ඉදිරිපත් කරවීම සඳහා එකඟතාවට එළැඹි බව ද රනිල් වික්‍රමසිංහ මහතා සාක්ෂි දෙමින් කොමිසමට අවධාරණය කළේ ය.

හිටපු ජනාධිපතිවරයා බලයට ගෙන ආවේම නිර්පාක්ෂික අපේක්ෂකයෙක් ලෙස බවද වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයගේ සහාය මෛත්‍රීපාල සිරිසේන මහත්මයට අරන් දුන්නෙ තමා බවත්, මෛත්‍රී මහතා ඉදිරිපත් වුණේ පොදු අපේක්ෂකයා ලෙස බවත්, නමුත් පසුව ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය ලබා ගැනීමෙන්, සෝභිත හාමුදුරුවොත් මෛත්‍රීපාල සිරිසේන මහතා හට දෝෂාරෝපණ එල්ල කළ බව ද ඒ මහතා සාක්ෂි දෙමින් කීවේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here