පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සමඟ කිසිදු දේශපාලන ගනුදෙනුවක් තම ආණ්ඩුව විසින් ඇති කරගෙන නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

ජාතික ආරක්ෂාව තහවුරු කිරීම රජයේ පළමු සහ ප්‍රධාන වගකීමක් බව පෙන්වා දෙන ඒ මහතා එය සාක්ෂාත් කිරීම සඳහා දැනටමත් නිසි පියවර ක්‍රියාත්මක කර ඇති බවද පසුගිය කාලයේ සිදු වූ ආකාරයෙන් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හෝ අත්තනෝමතිකව නිදහස් කිරීමේ බලය දේශපාලනඥයන් අතට පත් කිරීමට තමා සූදානම් නොමැති බවද ප්‍රකාශ කරයි.

සිය මුහුණු පොතේ සටහනක් තබමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබුණේ මෙලෙසින්

“ආරක්ෂාව තහවුරු කිරීම මාගේ රජයේ පළමු සහ ප්‍රධාන වගකීමයි. එය සාක්ෂාත් කිරීම සඳහා දැනටමත් නිසි පියවර ක්‍රියාත්මක කර ඇත. මේ භූමිය මත ජනවාර්ගික, ආගමික හෝ වෙනත් කවර ආකාරයකවත් ත්‍රස්තවාදයකට හෝ අන්තවාදයකට ඉඩ නොතබන අතර, සෑම පුරවැසියකුටම බියෙන් සහ සැකයෙන් තොරව ජීවත්වීම සඳහා ඇති අයිතිය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරන බව සහතික වන්නෙමි.”  2019 අප්‍රේල් මස 21 වැනි දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරයට හේතු වූයේ ආරක්ෂක ක්ෂේත්‍රයේ සිදු වූ බරපතළ කඩාවැටීමත්, ත්‍රස්තවාදයට සහ අන්තවාදයට උඩගෙඩි දෙන දේශපාලන හා සමාජ පසුබිමක් ශ්‍රී ලංකාව තුළ ගොඩනැඟී තිබීමත්ය. එබැවින් ත්‍රස්තවාදය හෝ අන්තවාදය හෝ පෝෂණය කරනු ලබන සියලු මාර්ග සහ ක්‍රියාකාරකම් අහුරාලීමට අවශ්‍ය නිශ්චිත පියවර ගැනීමට අප රජය පසුබට වී නැත.

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති කොමිසමක් මඟින් පූර්ණ විභාගයක් සිදු කෙරෙමින් පවතී. එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අඛණ්ඩව පරීක්ෂණ සිදුකරමින් සිටී. එම විභාග සහ පරීක්ෂණවලට අනතුරුව දැඩිව නීතිය ක්‍රියාත්මක කරනු ඇත. පසුගිය කාලයේ සිදුවූ ආකාරයට පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හෝ අත්තනෝමතිකව නිදහස් කිරීමේ බලය දේශපාලනඥයන් අතට පත් කිරීමට මා සූදානම් නැත.

එය නිසි පරීක්ෂණවලින් පසු අදාළ බලධාරීන් විසින් නිත්‍යනුකූලව ඉටු කෙරෙනු ඇත. අදාළ බලධාරීන් හෝ නිලධාරීන් අතින් යම් අතපසුවීමක් හෝ අත්වැරැද්දක් වී ඇත්නම් ඒවා නිවැරදි කිරීමට ද මම කටයුතු කරමි. රිෂාඩ් බදුයුදීන් මන්ත්‍රීවරයා සමඟ කිසිදු දේශපාලන ගනුදෙනුවක් (ඩීල් එකක්) අප ආණ්ඩුව ඇතිකරගෙන නොමැති බැව් අවධාරණය කරමි.

මෙතෙක් කල් ජනතාව මා කෙරෙහි තැබූ විශ්වාසය කිසිසේත් පළුදු වන ආකාරයට කටයුතු නොකරන අතර, ඉදිරියේදී ද එම විශ්වාසය තවදුරටත් තහවුරු වන පරිදි ක්‍රියා කරන බැව් ජනතාවට සහතික කරමි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here