36ට තිබ්බ වී මිල 50ට ඉහල දැමු මේ ආණ්ඩුව කෘෂිකර්මාන්තයට හානි කළා කීම විහිළුවක්!

”අපේ රටේ ප්‍රශ්නය වෙලා තිබෙන්නේ ආකල්පමය ප්‍රශ්නයයි. අපි මේ ආණ්ඩුවට කඩේ යන්නේ මේ ආණ්ඩුව කරන හැම වැඩේ ම හරි නිසා නොවේ. නමුත් කොරෝනා වසංගත තත්ත්වයක් තුළ සංසන්දනාත්මකව බලන විට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා යම් ආකල්පමය වෙනසක් කරමින් වැඩ කරන්න උත්සාහ කරනවා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පැවසීය. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඩිලාන් පෙරේරා මහතා මෙම අදහස් පැවසීය. 

එහිදී හෙතෙම මෙසේ ද කීය. 

“මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ ආණ්ඩුව සමයේ වී කිලෝවක් සඳහා ගොවීන්ට ලබා දුන්නේ රු. 36ක මුදලක් බව එතුමාට අමතක වීම කනගාටුවට කරුණක්. වර්තමානයේ රු. 50ක සහතික මිලකට ගොවීන්ගෙන් වී ලබා ගැනීමට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කටයුතු කර තිබෙනවා. එවන් පසුබිමක සිට කෘෂිකර්මාන්තයට හානි කළේ වර්තමාන ආණ්ඩුව බව ප්‍රකාශ කිරීම විහිළු සහගතයි. 

මම පෞද්ගලිකව මගේ දේශපාලන ඉතිහාසය ගත්තාම මම මගේ ආණ්ඩුවක් වුණත් කරන කරන හැම එකකට ම එහෙයි කියලා කඩේ යන මිනිහෙක් නොවේ. 94 චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ ආණ්ඩුව හදලා මාස 6ක් යන්න මත්තෙන් මතුවෙච්ච විදුලිබල අර්බුදය වෙලාවේ ඩලස්ලා, අපි, ජනක බණ්ඩාරලා එවකට චන්ද්‍රිකා මැතිනියගේ ආණ්ඩුවට විරුද්ධව ආණ්ඩුවේ ඇතුළේ ඉඳල ම පළමු කැරැල්ල ගැහැව්වේ ආණ්ඩුව වට්ටන්න නොවේ. නමුත් ආණ්ඩුව නිවැරැදි පීල්ලට ගේන්නයි උත්සාහ කළේ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හදපු ආණ්ඩුව අත්තනෝමතිකව ක්‍රියාකරමින්, හොරකම් කරමින් ගොවියාගේ බඩට ගහමින්. රට පාවා දෙමින් කටයුතු කරන අවස්ථාවේදී ඒ ආණ්ඩුවෙන් එළියට බැහැලා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ජනාධිපතිවරණය වෙනකොට සකලවිධ සියලු යූ.එන්.පී. විරෝධී බලවේග එක වේදිකාවට ගේන්න මුල පිරුවේ අපි 16 දෙනෙක් එළියට බැහැපු වේලාවේ. ඒ නිසා අපි එහෙම එකම පක්ෂයක හිටියා කියලා එක ආණ්ඩුවක හිටියා කියලා ඒ ආණ්ඩුවට ඒ විධිහට කඩේ යන උදවිය නොවේ. 

ගොවියන්ට, ගුරුවරුන්ට, සෞඛ්‍ය නිලධාරීන්ට ප්‍රශ්න තිබෙනවා. හැබැයි සියලු ම ප්‍රශ්නවලට එහායින් කොරෝනා තත්ත්වය නේ ද ප්‍රශ්නය. ගොවියන්ට හොඳ මිලක් ඕන ගොවියන්ගේ නිෂ්පාදනවලට. නමුත් ඒ නිෂ්පාදනවලට හොඳ මිලක් තිබිලා වැඩක් තිබෙනව ද ගොවියා කොරෝනාවලින් මැරුණොත්. ඒ නිසා කොරෝනා වසංගත තත්ත්වය කියන එක සැලකිල්ලට ගන්න ඕනෑ. කොරෝනා වසංගත තත්ත්වයේදී මේ ආණ්ඩුව හරි පීල්ලේ ගියේ නැත් ද? මේ ආණ්ඩුව නිවැරැදිව කළමනාකරණය කරපු නිසා තමයි අද ලෝකයේ දියුණු රටවල්වලට වඩා හොඳින් අපේ රටේ එන්නත්කරණය සිදු කරගෙන යන්නේ. 

බඩු මිල ප්‍රශ්නයේ සමහර භාණ්ඩවල මිල උච්චාවචනය වීම සම්බන්ධයෙන් අපේ ආණ්ඩුව නොවේ මොන ආණ්ඩුව තිබ්බත් කරන්න දෙයක් නෑ. අපේ රට තාම තෙල් නිෂ්පාදනය කරන්නේ නෑ. තෙල් මිල ලෝක වෙළෙඳපොළේ ඉහළ පහළ යාම මතයි අපේ රටේ තෙල් මිල නියම වෙන්නේ. 

අලුතෙන් මේ ආණ්ඩුවට පැමිණියාට පස්සේ යම් යම් ඖෂධ මේ රටේ නිෂ්පාදනය කරන්න පටන් අරගෙන තිබෙනවා. නමුත් සමහර ඖෂධ මේ රටේ නිෂ්පාදනය කරන්න බෑ. ඒ අනුවයි ලෝක වෙළෙඳපොළට අනුවයි ඖෂධ මිල උච්චාවචනය වන්නේ. 

අපේ රටේ ප්‍රශ්නය වෙලා තිබෙන්නේ ආකල්පමය ප්‍රශ්නයයි. අපි මේ ආණ්ඩුවට කඩේ යන්නේ මේ ආණ්ඩුව කරන හැම වැඩේ ම හරි නිසා නොවේ. නමුත් කොරෝනා වසංගත තත්ත්වයක් තුළ සංසන්දනාත්මකව බලනකොට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා යම් ආකල්පමය වෙනසක් කරමින් වැඩ කරන්න උත්සාහ කරනවා. 

හැබැයි තියෙන ප්‍රශ්නය තමයි එතුමා කරන දේවල් කියන්නේ නෑ. ලෝකයේ නායකයෝ වර්ග කිහිපයක් සිටිනවා. සමහර නායකයෝ කියනවා වගේ ම කරනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා එහෙම නායකයෙක්. සමහර අය කියනවා විතරයි කරන මගුලක් නෑ. සජිත් ප්‍රේමදාස කියවනවා කියවනවා ජෝකර් කෙනෙක් වගේ කරන දෙයක් නෑ. ඊළඟට තව පිරිසක් සිටිනවා. කිසි දෙයක් කරන අයට කරන්න දෙන්නේ ම නෑ. ඒ අනුර කුමාරලා වගේ පිරිසයි. නමුත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඔය කියන වර්ග 3 ම නැති කෙනෙක්. එතුමා වැඩ කරනවා, කියන්නේ නෑ. ඒ නිසා මිත්‍රවරුනි, මේ රටට අවශ්‍ය වන්නේ ආකල්පමය වෙනසක්. ඒ ආකල්පමය වෙනස මෙවර අයවැයේදී බැසිල් රාජපක්ෂ මැතිතුමා ඇති කරගෙන යනවා. මෙවර අය-වැය යෝජනාවට පෙර ගමේ කමිටුවලින් යෝජනා ගෙන අය-වැයෙන් මුදල් වෙන් කරනවා.”

 201 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply