“ASP ප්‍රමෝෂන් පාටියට ගොස් එද්දී වාහනේ හැප්පිලා” වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනම්!

කන්තලේ මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයා ලෙස සිට සහකාර පොලිස් අධිකාරි ධුරයට උසස්වීම් ලැබීමේ සතුට සැමරීම සඳහා පැවැති රාත්‍රි සාදයකට සහභාගි වී ආපසු නවාතැන්පොළ වෙත යමින් සිටියදී රිය අනතුරට භාජන වූ රථය පැදවූ උප පොලිස් පරීක්‍ෂකවරයාගේ සේවය වහා ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවනු ලැබීය.

ඒ කන්තලේ කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ නියෝග මතය.

මෙම රිය අනතුරින් උප පොලිස් පරීක්‍ෂක සිරිසේන මහතා ජීවිතක්‍ෂයට පත්විය. 55 වැනි වියේ පසුවූ ඔහු කන්තලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ රාජකාරි කළ ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඉකුත් 11 වැනිදා රාත්‍රි පැවැති මෙම පොලිස් ලොක්කාගේ සාදයෙන් අනතුරුව කන්තලේ, මූතූර් මාර්ගයේ සිට කන්තලේ නගරය දෙසට එමින් සිටියදී මෙම රිය අනතුර සිදුවී ඇත. කන්තලේ දුම්රිය හරස් මාර්ගයේ ඇති ගේට්ටු කණුවක මෝටර් රිය වැදී ඇතැයි පොලිසිය කීය.

අනතුරින් රථයේ රියැදුරු හා වම්පස අසුනේ ගමන්ගත් නිලධාරීන් දෙදෙනාම තුවාල ලැබූ අතර පසුව කන්තලේ රෝහලට මොවුන් ඇතුළත් කර ඇත. ඉන් අනතුරුව වම් පස අසුනේ සිටි නිලධාරියා ජීවිතක්‍ෂයට පත්විය.

සිදුකළ විමර්ශනයේදී හෙළිවී ඇත්තේ රියැදුරාට රථය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් අනතුර සිදුවී ඇති බවයි.

නිලධාරීන් බීමතින් සිට ඇත්දැයි සෙවීම සඳහාත් තුවාලකරුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමටත් කටයුතු යොදා ඇති බව කන්තලේ පොලිසිය කියයි.

කන්තලේ කොට්ඨාසය භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි නිරන්ජන් අබේවර්ධන මහතාගේ උපදෙස් මත මේ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇත.

 584 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply