“ගුරු-විදුහල්පති වැටුප් විෂමතා විසඳයි” – අගමැති වෘත්තිය සමිති ලොක්කන්ට දැනුම්දෙයි!

ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ගැටලුවට අවසන් විසඳුමක් ලබාදීම සඳහා පැවැති සාකච්ඡාවේදී අදියර දෙකකින් එම වැටුප් විෂමතාව මුළුමනින්ම විසඳීමට කටයුතු කරන බව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (12) ගුරු-විදුහල්පති වෘත්තිය සමිති සමඟ පැවැති සාකච්ඡාවේදී දැනුම් දී තිබේ.

ඒ සඳහා පත් කළ අමාත්‍ය අනුකමිටුව යෝජනා කළ විසඳුමට අනුව විෂමතාව දුරලීම සඳහා ගුරු – විදුහල්පතිවරුන්ගේ වැටුපට එකතු කළ යුතු මුදල තුනකට බෙදා ඉන් එක් කොටසක් 2022 ජනවාරියේදී ලබාදීමටත්, ඉතිරි කොටස් දෙක 2023 ජනවාරියේදී එකවර ලබාදී නිම කිරීමටත් රජයේ පාර්ශ්වයේ අවසන් විසඳුම වශයෙන් යෝජනා කර ඇත.

එකවර එම විෂමතාවන් දුරලීමට පියවර ගන්නා ලෙස සාකච්ඡාවට එක්වූ වෘත්තීය සමිති නියෝජිතයන් ඉල්ලීම් කළත් රටේ පවතින තත්ත්වය හමුවේ ඊට එකවර විසඳුමක් ලබා දිය නොහැකි බව රජයේ පාර්ශ්වයෙන් දැනුම් දී තිබේ. අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12දා) මධ්‍යහ්න 12.00 සිට පස්වරු 3.10 දක්වා පැය තුනක කාලයක් නිවෙසේ මෙම සාකච්ඡාව පැවැත්වී ඇත. පෙරේදා රාත්‍රියේදී පැවැති කැබිනට් රැස්වීමේදී අදියර තුනක් යටතේ ඒ සඳහා අදාළ මුදල් ගුරු – විදුහල්පතිවරුන්ට ලබාදීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසා තිබිණි.

එය අදියර තුනක් යටතේ නොව අදියර දෙකකින් වසරක් තුළ ගෙවා නිම කිරීමට රජයේ පාර්ශ්වයෙන් ඊයේ පැවැති සාකච්ඡාවේදී වෘත්තීය සමිති නියෝජිතයන් වෙත දැනුම් දී තිබේ.

මෙම සාකච්ඡාව සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන ඇතුළු ගාමිණී ලොකුගේ, උදය ගම්මන්පිල යන ඇමැතිවරුද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත, වැටුප් විෂමතා ගැටලුව විසඳීම සඳහා පත්කළ කැබිනට් අනු කමිටු සාමාජිකයන් වන ඩලස් අලහප්පෙරුම, මහින්ද අමරවීර යන ඇමැතිවරුන්ද ජෝශප් ස්ටාලින්, මහින්ද ජයසිංහ ප්‍රමුඛ ගුරු – විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයන්ද සමඟ නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝද එක්ව සිටියහ.

 322 total views,  15 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply