කාබනික ගොවිතැන නංවන්න රාජ්‍ය බැංකුවල සහාය!

මුළු රටම කාබනික වගාව වෙතට යොමු ව පවතින මෙවන් වකවානුවක රට තුළම කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සහ කර්මාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම වහා කළ යුතු කාර්යයකි. එමෙන්ම වස විසෙන් තොර, ආහාර රටාවක් ඇති කිරීම සඳහා ද ප්‍රමුඛ අවධානයක් අප විසින් යොමු කළ යුතුව තිබේ. මේ සද් අරමුණු ජය ගන්නට කාබනික පොහොර නිෂ්පාදනය කර්මාන්තයක් ලෙස වැඩි දියුණු කිරීමට රජය තීරණයක් ගෙන තිබීම අගය කළ යුතු වේ. රජය විසින් රසායනික පොහොර, කෘමිනාශක හා වල් නාශක භාවිතය හා ඒවා ආනයනය කිරීම් සීමා කොට ඇත. මෙවැනි තත්ත්වයක් තුළ මෙරට ගොවිතැන ඉදිරියට රැගෙන යා හැකි ද? නො එසේ නම් ඉදිරියට රැගෙන යෑමට නොහැකි ද? යන්න මේ වන විට සමාජයේ මතුව ඇති පුළුල් කතිකාවකි.

එම කතිකාව තුළ අපට අවශ්‍ය තරම් වූ කාබනික පොහොර නිෂ්පාදනයට සපයා දෙන දිරිගැන්වීම් ප්‍රමාණවත් ද? ප්‍රමාණවත් නෙවන්නේ ද? තවත් කළ යුත්තේ කුමක් ද? යන අනු මාතෘකාව පිළිබඳව යම් විමසා බැලීමක් සිදු කිරීම මෙම ලිපියේ අරමුණ වේ. මෙහිදී කාබනික පොහොර නිෂ්පාදනය කර්මාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට මෙරට බැංකු අංශයෙන් සපයා දෙන දායකත්වය පිළිබඳ ව විශේෂයෙන් සලකා බැලිය යුතු වේ. ඒ අනුව අපි පළමුව කෘෂිකාර්මික අංශයේ ප්‍රතිසංස්කරණ; ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය පිටු දැකීම පිළිබඳව රජයේ දැක්ම විමසා බැලිය යුතුය.

අවදානම අවම කර ගැනීම

දේශීය ශ්‍රම බළකායෙන් 28%ක් පමණ කෘෂිකාර්මික අංශයේ නිරත වුව ද පසුගිය වසර 5 තුළ දළ දේශීය නිෂ්පාදිතය ට එම අංශයේ දායකත්වය 7%ක් පමණි. දේශගුණික විපර්යාසයන් කෘෂි කර්මාන්තයේ අවිනිශ්චිතතාව හාා අවදානම් සහගත භාවය සඳහා ප්‍රධාන සාධකයන් වන අතර, නිවැරැදි තාක්ෂණ භාවිතය තුළින් කෘෂි කර්මාන්තයේ නියැලීමට ඇති අවදානම අවම කර ගත හැකිය. විශේෂයෙන් මෑත අතීතයේ දී මෙම අංශය හා සම්බන්ධ නිෂ්පාදන ඵලදායිතාවයේ සැලකිය යුතු වෙනසක් නොපෙන්වන අතර ඒ සඳහා විශේෂයෙන් හේතු පාදක වී ඇත්තේ ගොවීන්ට සහන දීම, පාරිභෝගික මිල සමතුලිත කිරීම, පොහොර ලබා ගැනීම, ජල භාවිතය හා රට තුළ පවතින නිෂ්පාදන ආනයනය කිරීමේ ප්‍රතිපත්ති ද ඇතුළුව ස්ථාවර ප්‍රතිපත්ති රාමුවක් නොමැතිකම ය.

මෙවන් පසුබිමක් තුළ සහ පවතින කොවිඩ් වසංගතය හමුවේ කෘෂි ක්ෂේත්‍රයේ ප්‍රතිපාදන නිසි ලෙස කළමනාරණය කර බෙදා හැරීම, යෙදවුම් නිසිි ලෙස සැපයීම සහ අගය දාම අඩපණ වීම තුළින් කෘෂිකාර්මික අංශයට වන බලපෑම අවම කිරීම සඳහා රජය සැලකිය යුතු ප්‍රතිසංස්කරණ සංඛ්‍යාවක් ක්‍රියාත්මක කරන ලදී. වසර 2025 වන විට ශ්‍රී ලංකාව දරිද්‍රතාවෙන්් තොර රටක් බවට පත් කිරීම සඳහා සුදුසු උත්ප්‍රේරක ප්‍රවේශයන් තුළින් ආර්ථිකය පුනර්ජීවනය කිරීම සඳහා අවශ්‍ය ක්ෂණික තීරණ ගැනීමේ අවශ්‍යතාවක් මතු වූ අතර ඒ සඳහා ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය පිටුදැකීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායක් 2020 අප්‍රේල් මාසයේ දී පිහිටුවන ලදී. ව්‍යවසායකයන්, ගොවීන්, ධීවරයන්, සාම්ප්‍රදායික කර්මාන්තකරුවන්, ස්වයං රැකියා නියුක්තිකයන්, ගෘහස්ථ යැපුම් ආර්ථිකයන් සහිත අඩු ආදායම්ලාභි කණ්ඩායම් සහ කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා නව තාක්ෂණය, වෙළෙඳපළ සහ ණය පහසුකම් සැපයීම මෙම කාර්ය සාධක බළකායේ ප්‍රධාන අරමුණු වේ. මේ සඳහා කාර්ය සාධක බළකාය වඩාත් ප්‍රායෝගික ප්‍රවේශයන් හතරක් ඔස්සේ ඉදිරියට ගමන් කිරීමට කටයුතු යොදා ඇත. සෞඛ්‍ය සම්පන්න ගෘහ ආර්ථිකය සහ ආහාර සුරක්ෂිතතාව ළඟා කර ගැනීම, අපනයන ප්‍රවර්ධනය කිරීම, කාර්මික සංවර්ධනය, රැකියා උත්පාදනය සහ දරිද්‍රතාවය පිටුදැකීම මෙම ප්‍රවේශයන් වන අතර ඒ මඟින් ශ්‍රී ලංකාවට 2025 වන විට සමෘද්ධිමත්භාවය ළඟා කර ගැනීමට හැකි වනු ඇත.

පොහොර සහනාධාර වැඩසටහන

දැනට ක්‍රියාත්මක වන පොහොර සහනාධාර වැඩසටහන වී ගොවීන්ට මෙන්ම වෙනත් භෝග වගාවන් සිදු කරන ගොවීන් සඳහා ද ක්‍රියාත්මක කරන අතර, පාංශු සංරක්ෂණය අපේක්ෂිත මට්ටමක පවත්වා ගනිමින්, ප්‍රශස්ත ලෙස අස්වැන්නක් ගැනීම මෙම වැඩසටහනෙහි අරමුණ වේ. ඉතිහාසයේ ප්‍රථම වරට 2020 යල කන්නයේ සිට, අක්කර 5ට අඩු, වී වගා කරන ගොවීන් සඳහා නොමිලේ පොහොර සපයා දීමට කටයුතු කළ අතර, 2020 වර්ෂය තුළ වී හා අනෙකුත් භෝග සඳහා, අඛණ්ඩ ලෙස පොහොර සපයා දීමට කටයුතු කරන ලදී. මෙම ආරක්ෂිත ප්‍රතිපත්තිමය ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස කොවිඩ්-19 ගෝලීය වසංගත තත්ත්වය තුළ වුව ද, වගා කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යෑමට හැකි වූ අතර, පසුගිය වසර දහය සැලකීමේ දී, වැඩිම වී නිෂ්පාදනය පසුගිය 2020 වර්ෂයේ දී සිදු විය. 2020 වර්ෂයේ පොහොර සහනාධාර වැඩසටහන සඳහා රජය විසින් රු. මිලියන 36,820ක් වැය කළ අතර, එය 2019 වර්ෂය හා සැසඳීමේ දී 5.3%ක වැඩි වීමක් පෙන්නුම් කරන ලදී.

පොහොර සහනාධාරය යටතේ, වී භෝගය සඳහා පුර්ණ සහනාධාරයක් ලෙස පොහොර වර්ග තුනක් සපයා දෙනු ලැබේ. ඒ අනුව යූරියා, ත්‍රිත්ව සුපර් පොස්පේට් හා මියුරේට් ඔෆ් පොටෑෂ් යන පොහොර වර්ග තුන, දිවයින පුරා විසිර පවතින ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන සතු බෙදාහැරීමේ ජාලය හරහා බෙදා දීමට කටයුතු කරන ලදී.

2019/20 මහ කන්නය තුළ, ගොවීන් 192,647ක් අතර, පොහොර මෙ.ටො.196,647ක් බෙදා හැර ඇති අතර, 2020 යල කන්නය තුළ ගොවීන් 840,487ක් අතර, පොහොර මෙ.ටො. 131,309 බෙදා හැර තිබුණි..

ස්වාභාවික ක්‍රියාවලියක්

අද අපේ රටේ ඇතැමකු රසායනික පොහොර භාවිතයෙන් ගොවිතැන කළ යුතු යැයි කියති. තවත් පිරිසක් කාබනික පොහොර ගැන පමණක් විශ්වාසයෙන් ගොවිතැන කළ යුතු යැයි කියති. මේ දෙපිරිස අතර සත්‍ය වශයෙන්ම කිසියම් මධ්‍ය ස්ථානයකට අප පැමිණ යුතුව තිබේ.

මෙම පොහොර වර්ග දෙක නිෂ්පාදනය කිරීමට ගන්නා අමුද්‍රව්‍යවලින් පසට, භෝගවලට, පරිසරයට මෙන්ම මිනිසාට ද ඇති වන බලපෑම පිළිබඳ ව සැලකිලිමත් විය යුතුය. ස්වාභාවික ක්‍රියාවලියකට අනුව නිපදවන කාබනික පොහොරවලින් ලැබෙන පෝෂ්‍ය පදාර්ථවලට අමතරව පැළෑටිවලටආරක්ෂාව සලසන වෙනත් පදාර්ථයන් සඳහා අවශ්‍ය සිලිකොන් මේ සඳහා දිය හැකි උදාහරණයකි. මේ මඟින් අධික උණුසුම් හා වියළි කාලගුණයක දී ආරක්ෂාව සපයනු ලැබේ. එපමණක් නොව මෙමඟින් කෘමීන්ගෙන් හා දිලීර මඟින් ශාකවලට ඇති වන රෝගවලින් මුදා ගැනීමේ ශක්තියක් සිලිකොන්වලට ඇත.

කෘෂිකර්ම විද්‍යාවට අනුව ශාකයක වර්ධනයට මූලික වශයෙන් සය වැදෑරුම් පෝෂණයක් කාබන්ඩයොක්සයිඩ් මඟින් ලබා දෙයි. ජලයෙන් හයිඩ්‍රජන් ලබා ගනී. ජලය හා වාතය යන ප්‍රභවයන් දෙකෙන්ම ඔක්සිජන් ලබා ගනී. එමෙන්ම ශාකයෙහි අලුතින් පටක ඇති වීමට අවශ්‍ය ප්‍රෝටීන සපයා දෙනු ලබන්නේ නයිට්‍රජන් මාර්ගයෙනි, එහෙත් ඊට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් නයිට්‍රජන් ලබා දුන හොත් ශාක පත්‍ර වැඩි විය හැකි මුත් පලතුරු හෝ මල් හට නොගනී. එමෙන්ම කැල්සියම්, මැග්නීසියම්, සල්ෆර් සහ භෝගයේ වර්ධනයට අවශ්‍ය අනෙකුත් පදාර්ථ මෙන්ම පසෙහි ඇති ක්ෂුද්‍ර ජීවීන් ද ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි එමඟින් කාබනික පොහොරවල ඇති පෝෂ්‍ය පදාර්ථ ශාකයට උරා ගැනීමට හැකි වන පරිදි සකස් කර දෙමින් පසෙහි ව්‍යුහය ද සකස් කර ගැනීම වැදගත් ය.

රසායනික පොහොර ඉතා ලෙහෙසියෙන් ජලය සමඟ මුසු වීමෙන් එහි අඩංගු පෝෂ්‍ය පදාර්ථ ක්ෂණිකව පැළෑටිවලට උරා ගනී. සැබවින් ම රසායනික පොහොර මාත්‍රාව වැඩි වශයෙන් යොදා ගත හොත් එමඟින් ශාකවලට හානි පමුණුවන්නට ද ඉඩ කඩ තිබේ. එමෙන්ම රසායනික පොහොරවලට පස සකස් කිරීම සඳහා සහාය විය හැක්කේ ද මඳ වශයෙනි. මෙමඟින් පසෙහි ජීව ගුණය හෝ සාරවත් බව දිගු කාලීනව රඳවා ගත නොහැකි ය.

සෞභාග්‍යයේ දැක්ම

එමෙන්ම රසායනික පොහොර ඉතා පහසුවෙන් ජලයේ දිය වන බැවින් ඒ අසල පිහිටි ගංගා, ඇළ, දොළ,පොකුණු හා ජලාශවල ඇති ජලය අපවිත්‍ර වීම සිදු වේ. මෙය මිනිසාට පමණක් නොව සත්ත්වයන්ට ද අහිතකරය.

ජනාධිපතිවරණය සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති මාලාවේ රටේ කෘෂිකර්මාන්තයේ දියුණුවට දී ඇත්තේ පුමුඛස්ථානයකි. එහෙත්, අද ක්‍රියාත්මක වන්නේ ඊට වෙනස් දෙයක් බව ඇතැමුන් රජයට චෝදනා කරමින් සිටියි.

වසර 2018 ජනාධිපතිවරණයේ දී මෙරට ජනතාව වෙත ඉදිරිපත් කරන ලද ‘ සෞභාග්‍යයේ දැක්ම’ පුතිපත්ති ප්‍රකාශනයට අනුව ශ්‍රී ලංකාවේ ඉදිරි වසර දහයක් තුළ කෘෂිකාර්මික භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ දී කාබනික පොහොර ප්‍රවර්ධනය කිරීමට හා එය ජනතාව අතර ප්‍රචලිත කිරීටම පියවර ගන්නා බව සඳහන් කෙරිණි. එමඟින් මෙරට ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න බව ආරක්ෂා කිරීමට ද, සාම්ප්‍රදායික කෘෂිකාර්මික භාවිතයන්ට අනුව රසායනික පොහොර හා කෘඹිනාශක භාවිතය මඟින් ඇති වූ හානිය යළි අවම කර ගැනීමට ද යෝජනා කෙරිණි. ඒ අනුව රසායනික පොහොර යොදා ගනිමින් පසෙහි විනාශ වූ සාරවත් බව යළි ඇති කිරීමට, පසෙහි සිදු වී ඇති විෂ සහිත බව තුරන් කිරීමට සහ ජෛව විවිධත්වය සුරැකීමට ද අපේක්ෂා කෙරිණි. රසායනික පොහොර භාවිතයෙන් කෘෂි නිෂ්පාදනවල ගුණාත්මක භාවය වර්ධනය වී නොමැති බව ද, එමඟින් ජලය දූෂිත වීම හා පාරිභෝගික ආහාරවලට විෂ ද්‍රව්‍ය එකතු වීම හේතු කොට ගෙන පිළිකාකාරක හා වකුගඩු රෝගවලට ජනතාව ගොදුරු වීම නිසා රසායනික පොහොර ආනයනය නවතා දැමීමට කටයුතු කෙරිණි.

රජයේ ඉලක්කගත අරමුණු

ඒ අනුව මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම මඟින් ජනාධිපතිතුමා ඇතුළු රජය විසින් ඉලක්කගත අරමුණු ඉටු කර ගැනීමට ජනතා සහය අත්‍යවහ්‍ය කරුණක් වී තිබේ.

කාබනික පොහොර භාවිත කිරීම සඳහා ගොවි ජනතාව පෙළැඹවීමට කටයුතු කළ ද, ඒවා ප්‍රමාණවත් තරමින් වෙ‍ෙලඳපොළේ නැත. මේ තත්ත්වය සමනය කර ගැනීම සඳහා නව ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු වේ. ඒ සඳහා නව වැඩපිළිවෙළක් යෝජනා වී තිබේ. එනම් කාබනික පොහොර නිෂ්පාදනය කරනු ලබන ව්‍යවසායක පරපුරක් ඇති කිරීමය. ඒ සඳහා බැංකුවේ දායකත්වය සපයනු ලබන්නේ කෙසේ දැයි විමසා බැලිය යුතු ය.

අපේ රටේ රැකියා නොමැතිව සිටින තරුණ තරුණියන්ට කාබනික පොහොර නිෂ්පාදනය පටන් ගන්නැයි ආරාධනා කරමු. එම නව ව්‍යවසාය ආරම්භ කරනු ලබන පිරිසට සරල කොන්දේසි යටතේ බැංකු ණය දීමට බැංකු සූදානම් වී තිබේ.

ජාතික පොහොර ලේකම් කාර්යාලය සමඟ සමීපව ගනුදෙනු කරමින් දිරියෙන් ඉදිරියට ඒමට සමත්කම් දක්වන කාබනික පොහොර නිෂ්පාදනය කිරීම අඛණ්ඩව සිදු කරන ව්‍යවසායක පරපුරක් බිහි කිරීම මෙහි අරමුණ වේ. මේ සඳහා නොමඳවම පුර්ණ සහාය සපයන බව මෙරට රාජ්‍ය බැංකු ගණනාවක ප්‍රධානීහු අප සමඟ අවධාරණය කර සිටියහ.

ලංකා බැංකුවේ සභාපති නීතිඥ කාංචන රත්වත්තේ, මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, ජාතික ඉතිරි කිරීෆම් බැංකුවේ සභාපතිනි කේෂිලා ජයවර්ධන හා ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපති මහින්ද සාලිය යන මහත්ම මහත්මීහු ප්‍රකාශ කර සිටියේ මෙම සද්කාර්යයට දායක වීම ජාතික යුතුකමක් හා වගකීමක් ඉටු කරන අයුරින් සිතා කටයුතු කරන බව ය.

ලෝක වෙළෙඳපොළේ පොහොර මිල

අද වන විට කාබනික පොහොර භාවිතය දිරි ගැන්වීමට දෙනු ලබන සානුබලයන් දුර්වල කර, ඒ වෙනුවට රසායනික පොහොර නැවතත් සපයා දෙන්නැයි කරන ඉල්ලීම්වලින් සිදු වනුයේ අප රටේ ගොවි ජනතාව කබලෙන් ළිපට ඇද දැමීමක් බව ඔවුන්ගේ අදහස ය. අද වන විට ලෝක වෙළෙඳපොළේ රසායනික පොහොර මිල ගණන් ඉතා විශාල ලෙස ඉහළ ගොස් තිබේ. එවන් වටාපිටාවක රජයට තවදුරටත් අති විශාල මුදලක් වැය කොට පොහොර සහනාධාරය දිය හැකි දැයි යන්න පිළිබඳව සියලු දෙනාම සිතා බැලිය යුත්තකි.

කාබනික පොහොර භාවිතයට ගැනීම ප්‍රවර්ධනය කිරීම වෙනුවට, එයට බාධා එල්ල කර පටු දේශපාලන වාසි ගැනීමට යෑම රටට,, ජාතියට ආදරය කරන කිසිවකුගෙන් සිදු විය යුත්තක් නොවේ. අද වන විට උතුරු-නැඟෙනහිර දෙපළාතේ ගොවියෝ බොහෝ වෙහෙස මහන්සි වී කාබනික පොහොර භාවිතයට හුරු වෙමින් සිටිති. ඔවුහු ඊට අවශ්‍ය අමුද්‍රව්‍ය දකුණේ නැතිනම් උතුරු මැද වයඹ පළාත්වලින් පවා යුහුසුළුව රැගෙන යමින් සිටින බව නොරහසකි.

එසේ නම් අධික මිලක් දරා රසායනික පොහොර භාවිතයට හා ඒ සමඟ බැඳුනු කෘෂි කර්මාන්තයට යොමු වීම වෙනුවට, අඩු පිරිවැය යටතේ ජාතියට සුවය හා ආහාර සුරක්ෂිතාවය ඇති කරවන කාබනික පොහොර භාවිතයට අපේ රටේ ගොවි ජනතාව වහා වහා පෙලඹවීමට බැංකු අංශයේ විවිධ සහන හා සරල ණය යෝජනා ක්‍රම හරහා සුදානම් බව බැංකු ප්‍රධානිහු තවදුරටත් ප්‍රකාශ කර සිටියහ.

මෙහිදී මහා පරිමාණයෙන් කාබනික පොහොර නිෂ්පාදනය කර විශාල ගැනුම්කරුවන්ට සපයා දීම, එම පොහොර නැවත වතාවක් ගමේ ගොවි ජනතාවට දීම ගොවිබිමේදී ම සිදු විය යුතුය. ඒ සමඟ ගොවි ව්‍යසායක පොහොර නිෂ්පාදනය කරන අයට පහසුවෙන් බැංකු ණය මුදල් ලබා ගැනීමට ඉඩකඩ තිබිය යුතුය. මෙම කරුණු තවමත් නිසියාකාරව ගොවිබිම හා ගොවි පොළ සමඟ ගනුදෙනු කරනු ලබන ගොවි ව්‍යවසායකයා සතුටට පත්වන අයුරින් සිදු වී තිබේ දැයි සැක සහිතය. මේ සැකය ගොවිබිමෙන්, ගොවි ව්‍යවසායක සිත්වලින් තුරන් කිරීමට වග කිව යුතු බලධාරීන් පියවර ගන්නා ආකාරයේ තරම මෙරට කාබනික පොහොර භාවිතය ප්‍රවර්ධනය වන සීමාව තීරණය කරනු ඇත.

ජයසිරි මුණසිංහ

 404 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply