නිරෝධායන නීති කැඩූ මලල ක්‍රීඩා කණ්ඩායමේ 6කට දඬුවම්!

ඉන්දියාවේ පැවැති අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියෙන් අනතුරුව මෙරටට පැමිණීමෙන් පසු ඇති වූ සිදුවීමක් සම්බන්ධයෙන් එම කණ්ඩායමට ඇතුළත් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනකු, පුහුණුකරු සහ කළමනාකරුට එරෙහිව දඬුවම් පැනවීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

ඉන්දීය තරගාවලිය නිමා වීමෙන් පසු මෙරටට පැමිණි මලල ක්‍රීඩා කණ්ඩායම නිරෝධායන කටයුතු සඳහා මාතර නිල්වලා නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට කටයුතු කර තිබිණි.

එහෙත් එහි පහසුකම් ප්‍රමාණවත් නොවන බව පවසමින් කළ ඉල්ලීමක් අනුව මේ කණ්ඩායම ක්‍රීඩා අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් නිරෝධානය කටයුතු සඳහා සුගතදාස හෝටල් පරිශ්‍රය වෙත ගෙන්වා ගැනීමට කටයුතු කෙරිණි.

සුගතදාස හෝටලය වෙත යොමු කළ පළමු දිනයේදී ම කණ්ඩායමේ කිහිපදෙනකු විනය විරෝධී ව කටයුතු කර ඇතැයි පැමිණිලි ලැබී ඇති අතර, ඒ සම්බන්ධව විනය පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළේය.

මේ චෝදනාවට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනකු, පුහුණුකරු හා කළමනාකරු සම්බන්ධ බවට විනය කමිටුව පරීක්ෂණ වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

ඒ අනුව අදාළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනාට මාස 4ක් සඳහා උසස් දක්ෂතා පුහුණු දීමනාව අත්හිටුවීම, ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ දේපල පරිහරණය තහනම් කිරීමට කටයුතු කර ඇති අතර, පුහුණුකරු හා කළමනාකරු සඳහා මාස 6ක හා වසරක අන්තර්ජාතික තරග සඳහා සහභාගි වීම අත්හිටුවීමට කටයුතු කර ඇත.

ඒ අනුව ත්‍රිපුද්ගල විනය කමිටුව විසින් අදාළ දඬුවම් පැනවීමට තීරණය දුන් පසුගිය අගෝස්තු මස 16 දින සිට අදාළ දඬුවම් ක්‍රියාත්මක විය යුතු බවට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය හා අදාළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පුහුණුකරු සහ කළමනාකරු දැනුම්වත් කර තිබේ.

මේ චෝදනා එල්ල වී ඇත්තේ කණ්ඩායම භාරව කටයුතු කළ කළමනාකරු ඒ.එස්.එන්. අබේසේකර, පුහුණුකරු විමුක්ති ද සොයිසා සමඟ ක්‍රීඩක කාලිංග කුමාරගේ සහ ක්‍රීඩිකාවන් වන සෙලින්ඩා ජැන්සන්, ඩබ්ලිව්.වී.එල්. සුගන්ධිටය.

අභිමානවත් ජවසම්පන්න තරුණ පරපුරක් බිහි කිරීමේ දී විනය ප්‍රමුඛ කාරණයක් වන බැවින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු සියලු දෙනා තම විනය පවත්වා ගැනීම සම්බන්ධව ඉතා වගකීමෙන් කටයුතු කළ යුතු අතර, අනාගත පරපුරට වැරදි පූර්වාදර්ශ ලැබීම වැළැක්වීම සඳහා නිරෝධායනයට යොමු කළ හෝටලය තුළ දී විනය නීතිරීති හා නිරෝධායන නීතීරීති ද උල්ලංඝනය කරමින් සාදයක් පැවැත් වූ මලල ක්‍රීඩා කණ්ඩායමේ මේ සාමාජිකයන්ට දඬුවම් දෙන බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා අවධාරණය කරයි.

 375 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply