වැරදිලා ගෙදරට ආපු අලුත් ම ෆෝන් 10කට තණ්හාව අතහැරිය කෙල්ලෙක්ගෙ අවංකකම!

අයිති නැති දේ වෙනුවෙන් අයිතිය කියා පෑමට යෑම අනුවණ කමකි. මේ කාලයේදී අපි එවැනි ජුගුප්සාජනක සිදුවීම් ඕනෑ තරම් දැක ඇත්තෙමු. 

මෙවැනි පුද්ගලයන්ට අවසානයේදී හිමි වන්නේ දුක, කලකිරීම හා ලැජ්ජාව ය. ඒ හැම දේකට ම වඩා ඊළඟට සිදුවන්නේ යහපත් සමාජයෙන් කොන්වී සිටීමට ය. 

අයිති දේ අයිති තැනැත්තන්ට ලබාදී තුටු සිතින් ඒ දෙස බලා සැනසීම තරම් සතුටක් තවත් නැත. එයින් ලබාගත හැකි වන්නේ මිල කළ නොහැකි පැසසුම් ය. 

එවැනි සතුටක් අත්විඳින තැනැත්තියක් එසේත් නැත්නම් නව යොවුන් යුවතියක් අපට හමුවුණි. ඇය දැනට මහනුවර, පොල්ගොල්ල විද්‍යා පීඨයේ ඉගෙනුම ලබන  විසි හැවිරිදි රශ්මි භාග්‍යා රන්දුනු ය. 

රශ්මි භාග්‍යා මේ භාග්‍යය ලබාගත්තේ තම හදවතට අනුව දෙවරක් නොසිතා ගත් තීන්දුවක් නිසාය. සැබැවින් ම එය මානුෂික තීන්දුවකි. 

ඒ දවස පසුගිය සප්තැම්බර් 29 වන දා ය. එදා මහනුවර, අලවතුගොඩ, කොණකලගල පිහිටි රශ්මි භාග්‍යාගේ නිවසට පාර්සලයක් ලැබිණි. 

ඒ කුරියර් සර්විස් එකකට අයත් වහනයකිනි. 

“මේ පාර්සලයේ තිබුණේ මම ඕඩර් කළ ක්‍රීම් වර්ග කිහිපයක්. හැබැයි පාර්සලය ටිකක් ලොකුයි. ඒත් මම ඒක අස්සන් කරලා ගත්තා. සැක හිතන්න කාරණයක් නැහැනේ”.

රශ්මි භාග්‍යා ඊළඟට කළේ ඒ පාර්සලය දිග හැර බැලීම ය. ඒ අනුව ඇය දුටුවේ අදහා ගන්න බැරි තරමේ දසුනකි. 

“පාර්සලය ඇතුළේ තවත් පෙට්ටියක් තිබුණා. මම ඒක ඇරලා බලද්දී තිබුණේ අලුත්ම සැම්සුන් දුරකථන 10ක්. මට හිතාගන්න බැරි වුණා කවු ද මේ දුරකතන ටික මට එව්වේ කියලා. ඒ අනුව මම ඒ පෙට්ටියේ තවත් මොනවා හරි ලියකියවිලි තියෙනවා ද කියලා සොයා බැලුවා.”

මේ ආකාරයට සෝදිසි කර බැලූ ඇයට දකින්නට ලැබුණේ එහි කිසියම් ආයතනයක නමක් ලියූ කොළ කැබැල්ලක් පමණි. ඇය මේ සමාගම කුමක් දැයි අන්තර්ජාලය ඔස්සේ පරීක්‍ෂා කර බැලුවේ ඉන්පසුව ය. 

“මට ඇත්තට ම ඕන වුණේ ඒ ආයතනය මොකක් ද කියලා හොයලා බලලා මේ දුරකතන 10 ගැන කියන්න. මොක ද කුරියර් සර්විස් එකෙන් අහලා වැඩක් නැහැනේ. මගේ පාර්සලය ඇතුළෙනේ ඒක තිබුණේ. ඉතින් ඔවුන් මොනවත් දන්නේ නැතුව ඇති කියලා හිතුණා.” 

රශ්මි භාග්‍යා බොහෝ වේලාවක් ගත කරමින් මේ සම්බන්ධව සොයා බැලුවා ය. ඒ අනුව ඊළඟට එවැනි ආයතන කිහිපයකම දුරකතන අංක සොයා ගැනීමට ද ඇයට හැකිවුණි. 

“මම ඊළඟට ඒ දුරකතන අංකවලට කතා කළා. කතා කරලා දුරකතන කිහිපයක් නැතිවී තිබෙනවා දැයි විමසුවා.” මෙන්න දැන් අයිතිකාරයෝ ගොඩයි. 

සාමාන්‍යයෙන් ලෝබකම ඉහවහ ගිය මිනිසුන් තුළ මෙවැනි පහත් පෙළේ ආශාවන් ඇති වීම ස්වභාවික ය. ඔවුන් අනුන්ගේ දේ වෙනුවෙන් පෙනී සිටින්නේ එය තමන්ගේ කරගෙන ය. රශ්මි භාග්‍යාට දුරකතනයෙන් හමුවූ පුද්ගලයන් තුළ ද ඒ ලක්‍ෂණය බෙහෙවින් පෙනෙන්නට තිබිණි. 

“දැන් මේ අය උත්සාහ ගන්නෙ ම මේ ටෙලිෆෝන් ටික ගන්න. සමහරු මට යෝජනා කරනවා එකක් තියාගෙන අනිත් ටික දෙන්න කියලත්. ඒත් මට ඒ හැම කෙනෙක් ගැන ම සැක හිතුණා.”

මේ අනුව ඇය ඊළඟට කියා සිටියේ දුරකතන 10 අවශ්‍ය ම නම් පොලිසියට පැමිණ එය භාර ගන්නා ලෙස ය. නමුත් ඒ ප්‍රකාශයෙන් පසුව බොහෝ දෙනා ඒ හමුවීම ප්‍රතික්‍ෂේප කරන්නට විය. 

“කොහොම හරි අන්තිමට මට තේරුණා මේ වැඩේ හරියන්නේ නැහැ කියලා. ඒ අනුව මම අර මට පාර්සල් එක ගෙනල්ලා දීපු කුරියර් සර්විස් එකට කතා කරලා මගේ පාර්සලය ගෙනත් දීපු නියෝජිතයාගේ දුරකතන අංකය ඉල්ලා ගත්තා”. 

එහෙම සොයාගෙන ඔහුට පෞද්ගලිකව මම කතා කරලා මොනවා හරි නැතිවී තිබෙනවා දැයි ඇහුවා. 

ඔන්න එතකොට තමයි මට මේ ගැන හරියට ම දැනගන්න ලැබුණේ.”

කුරියර් සර්විස් එකට සම්බන්ධ මේ වැඩිමහල් පුද්ගලයා ඒ වනවිටත් මුහුණ දී තිබුණේ කිසිවෙකු අපේක්‍ෂා නොකළ අන්දමේ දැඩි මානසික ගැටලුවකට ය. 

“අනේ මිස්… මගේ අතින් වැරදිලා ඒ පාර්සලය මිස්ගේ පාර්සලයට ම දාලා. ඇත්තට ම මටත් මේ ඒක කොහොම ද වුණේ කියලා හොයාගන්න බැරිවයි හිටියේ. මිස්ට පින් සිද්ධ වෙනවා. මම එන්නම් ඒක ගන්න.” ඔහු කාරුණිකව කීවේ ය.

“ඔහු එහෙම කිව්වත් මම නිකම්ම ඒක භාර දුන්නේ නැහැ. පසුවදා අලවතුගොඩ පොලිසියේදී හමුවෙන්න කතා බහ කර ගත්තා. ඒ අනුව මම අර ජංගම දුරකතන 10 අරන් පොලිසියට ගියා.” 

“පොලිසියට ගියේ මේ දුරකතන 10 ලක්‍ෂ තුනහමාරක් හතරක් විතර වටින හින්දා. අනෙක මම ඒක නැවත භාර දුන්න බව නීතිය දැනගන්න ඕන හින්දා.” 

පොලිසියට ගිය රශ්මි භාග්‍යා ඒ භාග්‍යවන්ත කටයුත්තට මුහුණ දුන්නේ ඉන් අනතුරුව ය. 

“පාර්සලය භාර ගන්න ආවේ මැදිවියේ කෙනෙක්. ඔහු මේ රස්සාව කරන්නේ පවුලක් නඩත්තු කරන්න. සාමාන්‍ය විධියට ජීවත්වන ඔහු ඇත්තට ම මේ ප්‍රශ්නය නිසා බිය වූ තරම මා එක්ක කිව්වා.” 

“ඇත්තට ම මම මේ පාර්සල් එක නැතිවූ වෙලාවේ ඉඳල ම හිටියේ හිතාගන්න බැරි විදිහේ ගැටළු ගොඩකට මැදිවෙලා. මගේ ආර්ථික තත්ත්වය අනුව මට රුපියල් ලක්‍ෂ තුනහමාරක් හතරක් සොයා ගන්න එක ලෙහෙසි පහසු නැහැ. මට එහෙම හොයා ගන්න හිතන්නවත් බැහැ. ඉතින් ඒ නිසා ම මම බයවෙලා හිටියා. කොහොම ද මේ පාඩුව මම හරි ගස්සන්නේ කියලා. ඇත්තට ම කිව්වොත් මම අසරණ වෙලා හිටියේ.” ඔහු එසේ කියමින් රශ්මි භාග්‍යාට අනේක වාරයක් ස්තුති කළේ ය. පින් දුන්නේ ය. 

සැබෑවට ම රශ්මි කළේ මේ කාලයේ බොහෝ අය නොකරන විදිහේ අමුතු ම විදිහේ මානුෂික උදව්වකි. ඒ උදව්ව නිසා ම කුරියර් සර්විස්හි දුප්පත් නියෝජිතයාගේ මෙන් ම ඇයගේ හිතට දැනුණේ අපරිමිත සතුටකි. 

“අපි අනුන්ගේ දේවල් එහෙම ගන්න කලින් හිතන්න ඕන තමන්ට එහෙම වුණොත් කොහොම ද කියලා. මගේ අම්මා, තාත්තා එහෙමත් නැතිනම් අපේ පවුල මහ ලොකුවට සල්ලි තියෙන පවුලක් නෙමෙයි. 

අපි සාමාන්‍ය පවුලක්. ඒත් මගේ අම්මා, තාත්තා, ඒ වගේම ගුරුවරු මට උගන්නලා තියෙනවා අනුන්ගේ දේවල් අපිට අයිති නැති දේවල් අයිති කර ගන්න හොඳ නැහැ කියලා.

අනුන්ට වරදක් කරන හැම වෙලාවට අපි හිතන්න ඕන ඒ වැරැද්ද අපිට වුණොත් කොහොම ද කියලා. ඇත්තටම එහෙම ජීවත් වුණොත් නොපෙනෙන බලවේග වුණත් අපිව ආරක්‍ෂා කරනවා.

එදා මම දුරකතන 10 භාර දුන්නට පස්සේ පොලිස් නිලධාරීන් පවා මට අනේක වාරයක් ස්තුති කළා. මට එයින් දැනුණ සතුට මෙපමණයි කියලා කියන්න බැහැ. සතුට මුදල්වලට මිල කරන්න බැහැනේ.

කොටින් ම ආගම දහමට අනුව කීවොත් කරන කලට පව් මිහිරිය මීසේ… විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ… කියනව නේ. 

අද මම පුදුමාකාර විදිහේ සතුටකින් ඉන්නේ. ඒ මට අයිති නැති දේ නිය ම අයිතිකාරයා හොයලා දුන්නට,” රශ්මි භාග්‍යා අවසන් වශයෙන් කීවා ය. 

සොරකම ජරාජීර්ණය. ඊට හවුල් වීම අමානුෂිකය. ඒ සොරුන්ගේ ගොඩට වැටී කෙස්ගහක තරම් දායකත්වයක් ලබාදීමට සිදුවීම පෙර කළ කර්මවල ප්‍රතිඵලයකි. ඊට කිසිදු දායකත්වයක් නොදී වැළැකී සිටින්නට ලැබීම වාසනාවකි. ඒ වාසනාව රශ්මි භාග්‍යා අද භුක්ති විඳින්නී ය. 

උපුටා ගැනීම : www.mawbima.lk

 374 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply