“ජීවත්ව සිටින අම්මාගේ අක්මාවෙන් කොටසක් පුතුට” ලංකාවේ පළමු සැත්කම සාර්ථකයි!

විශේෂඥ වෛද්‍යවරුන් පහළොස් දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් සහභාගි වෙමින් මවකගේ අක්මාවෙන් කොටසක් ගෙන සිය පුතුට බද්ධ කළ විශේෂ අක්මා බද්ධ කිරීමේ සැත්කමක් පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී සිදුකර තිබේ.

ජීවත්ව සිටින පුද්ගලයෙකුගේ අක්මාවෙන් කොටසක් ගෙන දරුවෙකුට බද්ධ කළ ප්‍රථම අවස්ථාව ඉතා සාර්ථක වූ බව පේරාදෙණිය ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා කියා සිටියේ ය.

මෙම සැත්කම සඳහා පැය 13කට ආසන්න කාලයක් ගත වූ බව ද මේ සඳහා රෝහලේ සිටින විශේෂඥ වෛද්‍යවරුන්ට අමතරව පළපුරුද්ද හා දැනුම ඇති විශේෂඥ වෛද්‍යවරුන් රාගම, මහනුවර සහ කොළඹ රෝහල්වලින් කැඳවීමට සිදු වූ බව ද වෛද්‍ය තිලකරත්න මහතා කී ය.

මවගෙන් ලබාගන්නා ලද අක්මාවේ කොටසක් සිය පුතුට බද්ධ කළ අද්විතීය අක්මා බද්ධ සැත්කමක් වන මෙම සැත්කම සඳහා ලක්කරනු ලැබූයේ ඇළහැර, බකමූණ පදිංචිව සිටි වයස අවුරුදු පහළොවක් වන පුතෙකු සහ වයස අවුරුදු තිස්හතක් වන මව ය.

ශල්‍යගාරයක් තුළදී ශල්‍යකර්ම තුනක් එකවර සිදුකරන සුවිශේෂී ශල්‍යකර්මයක් වන මේ සඳහා ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් පහළොස් දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් සහභාගි වී තිබේ.

කලක සිට පැවැති ඇඟ කහවීම, උදරය පිම්බීම, වැනි රෝග තත්ත්වයට ප්‍රතිකාර ගැනීම සඳහා බකමූණ රෝහලට කැටුව ගිය මෙම පුතු පරීක්ෂා කර බැලූ වෛද්‍යවරු මෙම පුතු මහනුවර රෝහල වෙතත් එතැනින් පේරාදෙණි ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබිණි. පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී පුතු පරීක්ෂා කර බැලූ විශේෂඥ ශල්‍ය වෛද්‍ය බුද්ධික දසනායක මහතා ඔහුගේ අක්මාව සම්පූර්ණයෙන් ම අකර්මණ්‍ය වී ඇති බවට නිගමනය කිරීමෙන් අනතුරුව කඩිනමින් මොහුට අක්මා බද්ධ ශල්‍යකර්මයක් සිදුකළ යුතු බවට තීරණය කර තිබිණි.

රෝගී තත්ත්වයන් සහ සුදුසු අක්මාවක් සම්බන්ධයෙන් පරීක්ෂාකර බැලූ වෛද්‍ය කණ්ඩායම පුතුගේ මව වන තිස් හත්හැවිරිදි කාන්තාවගේ අක්මාවේ වම් භාගයේ කොටසක් බද්ධ කිරීම් සඳහා යොදාගත හැකි බවට නිගමනය කළහ.

මෙම ශල්‍යකර්මය සඳහා මහාචාර්ය වසන්ති ප්‍රින්ටො මහත්මියගේ මඟ පෙන්වීම මත නිර්වින්දන විශේෂඥ වෛද්‍ය සමන් නානායක්කාර මහතාගේ අධීක්ෂණය යටතේ සෙනාලි මහත්මියගේ මූලිකත්වයෙන් නිර්වින්දන විශේෂඥවරු ද ශල්‍ය විශේෂඥ වෛද්‍ය බුද්ධික දසනායක, බන්දුල සමරසිංහ, අරින්ද ධර්මපාල මහතා ඇතුළු කණ්ඩායමද ශල්‍යාගාර ප්‍රධාන හෙද නිලධාරිනිය ඇතුළු කාර්ය මණ්ඩලය ද සෞඛ්‍ය කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ද ඇතුළු ශල්‍යාගාර කාර්ය මණ්ඩලයේ තිහකට ආසන්න සංඛ්‍යාවක් ශල්‍ය කර්මය සඳහා සහභාගි වී සිටියහ.

මෙයට අමතරව මෙම ශල්‍යකර්මය සඳහා සූදානම් වීම පිණිස විශේෂඥ විකිරණවේදී රුධිර පාරවිලයනය විශේෂඥ වෛද්‍යවරුන් රක්තවේද විශේෂඥ වෛද්‍යවරුන්, ක්ෂුද්‍රජීවී විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායමක් ද සිය දායකත්වය පූර්ණ ලෙස ලබාදී තිබිණි.

ශල්‍ය කර්මයට භාජනය කළ පුතු සහ මව මේ වන විට හොඳ සෞඛ්‍ය තත්ත්වයක පසු වන බව රෝහල් අධ්‍යක්ෂවරයා කී ය.

 736 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply