ජනතා මුදල් සූරාකන පිරමීඩ ජාවාරම්!

Daily Mirror Eye Investigation තීරුව සදහා “Unmasking Sri Lanka’s Pyramid Parasites” යන සිරස්තලය යටතේ සැප්තැම්බර් 24 වැනිදා ඩේලිමිරර් පුවත් පතේ පළ වූ ලිපියේ සිංහල අනුවාදය.   

‘‘පිරමීඩාකාර ව්‍යාපාර යළි හිස ඔසවයි’’ මෙය මේ දිනවල ජනමාධ්‍ය තුළ පුවත් මවන මාතෘකාවකි. එහෙත් අද වන විට රට තුළ හරි හරියට ව්‍යාප්ත වී යන පිරමීඩාකාර ව්‍යාපාර යෝජනා ක්‍රමවලින් රටට හා ජනතාවට සිදුවන අහිතකර බලපෑම පිළිබඳව, එහි වගකීම උසුලන ශ්‍රී ලංකා මහ බැංකුව සොයාබලන ආකාරය සම්බන්ධයෙන් ජනතාව තුළ ඇත්තේ සුබවාදී ආකල්පයක් නොවන බව ද පෙන්වා දියයුතු ය.   
මේ වන විට ලංකාවේ බොහෝ ප්‍රදේශවල පිරමීඩාකාර ව්‍යාපාර යෝජනා ක්‍රම ව්‍යාප්ත වී ඇති අතර, ඊට ගොදුරු වී සිටින්නන් බහුතරය ග්‍රාමීය හා නොදියුණු ප්‍රදේශවල ජනතාව බව හඳුනාගත හැකිය. ගැටලුව ඇත්තේ මෙම නීති විරෝධී වෙළඳ යෝජනා ක්‍රමවලට ගොදුරුවන්නන්, ඒවා තුළ ඇති සත්‍ය ස්වභාවය හඳුනාගෙන නොතිබීම ය.   


හොර තැබෑරුමකින් අරක්කු බොන ගමේ වැඩිහිටියෙකු වුවත්, එය නීති විරෝධී බව හරි හැටි දන්නේය. පොලිසිය විසින් හොර අරක්කු බොන්නන් කුදලාගෙන ගොස්, හොඳ හැටි තඩි බා, කූඩුවට දමන බවට ලද අත්දැකීම් ද සමඟ ජනතාවට භයක් තිබුණද, මෙම පිරමීඩාකාර ව්‍යාපාර යෝජනා ක්‍රම පවත්වාගෙන යෑම මෙන්ම ඒවාට සම්බන්ධ වීමද මෙරට පවතින නීතියට අනුව දඬුවම් ලැබිය හැකි වරදක් බව පැවසූවත්, ඒ පිළිබඳ අත්දැකීම් හා උදාහරණ ගැන ජනතාව තවමත් හරිහැටි දැනුම්වත් වී නොමැත.   


එපමණක් ද නොව, මෙකී යෝජනා ක්‍රම හඳුන්වා දෙන්නන්ට රටේ දේශපාලන පැළැන්තියත් සහයෝගය දක්වන බව පවසන බැවින්, එම ප්‍රකාශවල ඇති සත්‍ය අසත්‍ය බව පිළිබඳව ද ජනතාව තුළ ඇත්තේ කුකුසකි. ඩේලිමිර්ර පුවත්පතේ පළ වූ ලිපියේ සාරාංශය මෙසේය.   


“බෙස්ට් ලයිෆ් (පුද්ගලික) සමාගමේ රැකියා අවස්ථාවක් ගැන ආරංචි වන විට රවිඳු සිය උපාධිය අවසන් කොට වැඩි කලක් නොමැත. මුලදී මෙම අවස්ථාව ගැන රවිඳු සිතුවේ ශ්‍රී ලාංකිකයින් ඉක්මනින් පොහොසතුන් කර ගැනීම සඳහා “අති දක්ෂ” ව්‍යාපාර අවස්ථා විකුණන සමාගමකට සම්බන්ධ වීමට ලැබීම වාසනාවක් ලෙසය. කෙසේ වෙතත්, ඔහු නොදැන සිටි කාරණය නම් 1988 අංක 30 දරණ බැංකු පනත යටතේ බෙස්ට් ලයිෆ් පුද්ගලික සමාගම පිරමීඩ ආකාරයේ සමාගමක් බවයි. අප සතුව ඇති සනාථ කළ හැකි සාක්ෂි වලින් එය හෙළි වී තිබේ.   


“පිරමීඩ් යෝජනා ක්‍රමය” යන්න ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් අර්ථ දැක්වෙන්නේ එම යෝජනා ක්‍රමයට අන් අය බඳවා ගැනීමේ අයිතිය ලබා ගැනීම සඳහා පුද්ගලයෙකු ගෙවීමක් කරන යෝජනා ක්‍රමයක් ලෙස ය. එහි ලාභාංශය පදනම් වන්නේ තව තවත් අය බඳවාගැනීමේ ක්‍රමය මතයි. මහ බැංකුවෙහි විසඳුම් සහ බලාත්මක කිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඩී.එම්.ඩී.බී. දිසානායක මහතා පවසන පරිදි 2020 මාර්තු මාසයේදී කොවිඩ්-19 වසංගතය රට තුළ ව්‍යාප්ත වූ මොහොතේ සිට මෙම නීති විරෝධී යෝජනා ක්‍රම ශ්‍රී ලංකාව පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. කොවිඩ් නිසාම ප්‍රවර්ධනය වූ සූම් තාක්ෂණය ඔවුන්ට රැස්වීමට හොඳ වේදිකාවක් තනා දී ඇත.   


මහ බැංකුව පවසන ආකාරයට පිරමීඩ යෝජනා ක්‍රමයේ කැපී පෙනෙන ලක්ෂණය වන්නේ නව සහභාගීවන්නන් යෝජනා ක්‍රමයට ආකර්ෂණය වන හෙයින් සෑම අදියරකදීම සහභාගිවන්නන්ගේ සංඛ්‍යාව එක් එක් අවස්ථාවෙහිදී සීඝ්‍ර ලෙස පුළුල් වීමයි. එහෙත් ප්‍රතිලාභ බෙදීයාමේදී වැඩියෙන්ම අසරණභාවයට පත්වන්නේ මෙම පිරමීඩයේ පහළම ස්ථරයයි. මහ බැංකුවට අනුව එය පාරිභෝගික වංචාවකි. මෙම වංචාවේ මූලික නිරීක්ෂණ සඳහා ලියුම්කරුවෝ බෙස්ට් ලයිෆ් ඇතුළු සමාගම් තුනක සූම් රැස්වීම්වලට ඇතුළු වූහ. එහිදී දුටු මූලික නිරීක්ෂණය වූයේ ජාලය වඩාත් විශාල කරගැනීම සඳහා සංවිධායකයන් භාවිත කරන ප්‍රවර්ධන කූටෝපක්‍රමයි. “ඔබේ ඉරණම වෙනස් කරන්න.. වේගයෙන් සිහින වෙත යන්න” යනාදී වශයෙන් ධනාත්මක චින්තන වැකි සමග සිය ව්‍යාපාරය ගැන ඔවුන් කරන පැහැදිලි කිරීම එකම අවුල් ජාලාවකි. එහෙත් සිය නෑසිය මිතුරන් තොග පිටින් සහභාගී වන මේ රැස්වීම්වලදී ප්‍රශ්න නැගෙන්නේ කලාතුරකිනි.   


රවිඳු යනු බෙස්ට් ලයිෆ් ආයතනයේ වසර පහක සේවා කාලයේදී එවැනි සිය ගණනකගේ දුක්ඛිත කතා ඇසූ විධායක තනතුරක් දැරූවෙකි. “දැන දැනම මේ මිනිස්සු අමාරුවේ දාපු එකට මට වැරැදිකාර හැඟීමක් දැනෙනවා. මගේ තාත්තා වගේ අය මගේ ළඟ අඬ අඬා එයාලා මහන්සියෙන් ජීවිත කාලේම එකතු කළ සල්ලි ආපහු ඉල්ලු‍වා.” සිය ආදායම් ඉපැයීමේ මාර්ගයේ වරදක් ඇති බව ඉහළ පාලනාධිකාරියට දැනුම්දෙන්නට ඔහුට තුඩුදුන්නේ මෙම ජීවන අත්දැකීමයි. එනිසා එතැන් පටන් ඔහු ප්‍රයත්න දැරුවේ මෙම ආචාරධර්මවිරෝධී ක්‍රමය පිරමීඩයේ පහළ සිටින්නන්ට අසාධාරණයක් බවයි.   


මෙම සිදුවීමෙන් සති කීපයකට පසු රැකියාවෙන් ඉවත්වන්නැයි රවිඳුට ඉහළින් දැනුම් දුනි. මෙම ආයතනයේ හිමිකරුවන්ට සමාජයේ හා දේශපාලන තන්ත්‍රයේ ඉහළම සිටින්නන් සමග කෙතරම් සමීප සබඳතා ඇතිදැයි ඒ වනවිටත් රවිඳුට අදහසක් තිබුණේය. මෙම බල පිරමීඩය නිසා ඔහු මේ අයුක්තිය ගැන කතා කරන්නට ගියේ නැත. බෙස්ට් ලයිෆ් ලොක්කන් රවිඳු තම රැකියාවට ස්වකැමැත්තෙන් සමු දුන් බවට ලිපියක් ලබාගැනීමට සමත්වූවේ ද මේ බලයේ ප්‍රතිඵලයක් වශයෙනි. 

 
“පිරමීඩ යෝජනා ක්‍රමයකදී සමාගම් හිමිකරුවන් හැමතිස්සේම ඉන්නේ ජයග්‍රාහී තැනක. ඔවුන්ගේ වචනවලට රැවටී ඊට පසුව එකතුවෙන අය තමයි පරදින්නේ. මේ ක්‍රමයේදී කවුරු හරි ලාභයක් ලබනවා නම් ඒ කියන්නේ අර පහළ මිනිස්සුන්ගෙන් උදුරාගත් සල්ලි.” රවිඳු පැවැසීය.   


කෙටි කලෙකින් රුපියල් ලක්ෂ ගණනින් හරිහම්බ කරගැනීමේ සිහිනයෙන් මෙයට එකතු වන පිරිසට සිදුවන්නේ අවසානයේ අතේ තිබුණු පිච්චියත් අහිමිවීමය. මිනිසුන්ගේ අධ්‍යාපනික මට්ටම හෝ නොදැනුවත්කම හේතුවෙන් ඔවුන් මෙයට ගොදුරු වන්නේ යැයි යමෙකු තර්ක කරන්නේ නම් එය පූර්ණ සත්‍යයක් නොවේ. එය තහවුරු වූවේ ‘​ඩේලි මිරර් අයි’ කණ්ඩායමට සම්මුඛ වූ උගත් බුද්ධිමත් වින්දිතයන්ගේ කතාවලිනි. සරසවි උපාධියට ආයුබෝවන් කියා දවසින් දෙකෙන් ධනපතියන් වීමට සිහින මැවූවෝ ද ඒ අතර වූහ.   


සම්පත් බැංකුව බෙස්ට්ලයිෆ් ගනුදෙනු සැක කළේ ඇයි?   


‘ඩේලි මිරර් අයි’ ඒකරාශි කරගත් සාක්ෂිවලට අනුව දේශීය වාණිජ බැංකු කීපයක් සමග ගනුදෙනු කරන බෙස්ට් ලයිෆ්හි ප්‍රමුඛ ගනුදෙනුකරුවා සම්පත් බැංකුවයි. එම නිසා අපි සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මෙහෙයුම්/කණ්ඩායම් ප්‍රධාන අලෙවි නිලධාරි තාරක රන්වල මහතාට කතා කර බෙස්ට්ලයිෆ්හි සැකසහිත මුදල් ගනුදෙනු ගැන විමසුවෙමු.   

බැංකුව දැන සිටියාද? එසේ නම්, බැංකුව කළේ කුමක්ද? 

 
සැක කටයුතු ආකාරයේ ගණුදෙනුවක් හෝ ගිණුමක් නිරීක්ෂණය වූ විට අපගේ වගකීම වන්නේ සැක සහිත ගනුදෙනු වාර්තාවක් Suspicious Transaction Report (STR) මහ බැංකුවට යොමුකිරීමයි. අපි අපේ වගකීම කළා. මුලින්ම අපි බෙස්ට් ලයිෆ් ගැන වාර්තාවක් දුන්නේ 2008දී. අපේ වාර්තාව පදනම් කරගෙන තමයි මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයෙන් දැවැන්ත පරීක්ෂණයක් කළේ. ඒ පරීක්ෂණයටත් අපෙන් ඉල්ලපු සියලු‍ විස්තර අපි දුන්නා.   


බෙස්ට් ලයිෆ් සමාගමට එරෙහිව බැංකුව එස්ටීආර් ගොනු කිරීමට හේතු වූයේ කුමක්ද?   


ගිණුමක් ආරම්භ කිරීමේදී ගිණුම් හිමියකු සිය ව්‍යාපාර හා ඊට අදාළ දේ ගැන තොරතුරු අපට දෙනවා. බෙස්ට් ලයිෆ් අපට කිව්වේ තමන් භාණ්ඩ හා සේවා ව්‍යාපාරයක නිරත වන බවයි. ඒත් අපේ නිරීක්ෂණයේදී

අනාවරණය වුණේ ඔවුන් ලබා දුන් තොරතුරු හා ව්‍යාපාර ගිණුම්වල ස්වභාවය අතර පරස්පරයක් ඇති බවයි. ඒ අතරේම මෙම සමාගම පිරමීඩ ගනුදෙනුවල නිරත බවට පාරිභෝගිකයන්ගෙන් පැමිණිලි ලැබුණා. 

 
ඔබේ වාර්තාවට අදාළව මහ බැංකුවෙන් ලැබුණු මාර්ගෝපදේශය කුමක්ද?   


බැංකුව පැත්තෙන් සැකසහිත නිසාම ගිණුමක් අත්හිටුවන්න අපට බලයක් නෑ. 2008 දි අප දුන් වාර්තාව ගැන කළ පසුවිපරමේදී දැනගන්නට ලැබුණේ මහ බැංකුව ඒ සම්බන්ධයෙන් වාර්තාවක් සකසා නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බවයි. ඒත් 2015 වෙනතුරුත් මේ සමාගම සම්බන්ධයෙන් බැංකුවක් විදියට අපි මොකක්ද කරන්න ඕනෑ කියලා මහ බැංකුව උපදෙසක් දුන්නේ නෑ. ඒ අතරේ මෙම සමාගමේ ගිණුම්වල මෙහෙයුම් පරිමාව ටිකෙන් ටික වැඩිවෙන හැටිත් අපි නිරීක්ෂණය කළා. ඒ නිසා අපි නැවත 2016 දි තවත් වාර්තාවක් මහ බැංකුවට යොමු කළා. අපි මේ ගැන දන්නේ එච්චරයි.   


මහ බැංකු විමර්ශන වාර්තාවට වුණේ මොකක්ද?   


මෙම සමාගම්වල සත්‍ය අරමුණ නම් බඳවාගැනීම්වලින් මුදල් ඉපැයීමයි. එහෙත් ඔවුන් එය සඟවාගන්නේ වෙළෙඳපොළ වටිනාකමින් ඉතාම අඩු භාණ්ඩ හා ගුණාත්මකව හීන සේවා අධික මුදලකට සිය පිරමීඩයේ පහළ සිටින්නන්ට අළෙවි කිරීමෙනි. එවිට එය භාණ්ඩ හා සේවා විකිණීමක් ලෙසට බැලූ බැල්මට පෙනේ. ඊට අමතරව ඔවුහු ජාල අළෙවිකරණය’ සහ ‘බහුමට්ටම් අළෙවිකරණය’ ආදී ආර්ථික විද්‍යාත්මක තාක්ෂණික වචනවලින් එය හැඩ කරති. එහෙත් යථාර්ථයේදී මෙය බැංකු පනත උල්ලංඝනය කරන පිරමීඩ ක්‍රමයක්මය. එහෙත් බෙස්ට් ලයිෆ්හි විකිණුම් ක්‍රමය හා කොමිස් බෙදාහැරීමේ ක්‍රමය මුළුමනින්ම පිරමීඩාකාර ගනුදෙනුවක් බව අප සතු තොරතුරු සාක්ෂි දරයි. නමින් පෙනී සිටීමට අකැමැති මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු එය තවදුරටත් තහවුරු කළේ මහ බැංකුව විසින් වසර කීපයකට පෙර කළ විමර්ශනයකදී බෙස්ට් ලයිෆ් යනු නීතිවිරෝධී පිරමීඩ ක්‍රමයක් බවට කරුණු අනාවරණය වූ බව කියමිනි. නීතිමය පියවර ගැනීමට කවර බාධක ඇතිදැයි ඔහු පැවැසුවේ “නීතිපති දෙපාර්තමේන්තුව අතේ තමයි දැන් මේක තියෙන්නේ. මේක පරක්කු වෙන්නේ ඇයි කියන එක අපටත් ප්‍රශ්නයක්. ඒත් නීතිමය පියවර ගන්න අපට බලයක් නෑ. නීතිපති දෙපාර්තමේන්තුවට අපේ වාර්තා යැවීමෙන් අපේ වගකීම ඉවරයි..” 

 
මම දන්නේ නෑ – බෙස්ට් ලයිෆ් නියෝජ්‍ය සභාපති   


ඩේලි මිරර් අයි කණ්ඩායම දින කීපයක් තිස්සේ බෙස්ට් ලයිෆ් සභාපති උපාලි ප්‍රනාන්දු මහතා දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට මහත් පරිශ්‍රමයක් දැරුවත් එය සාර්ථක වූයේ නැත. එහි නියෝජ්‍ය සභාපති ජයන්ත ගුණතිලක මහතා සම්බන්ධ කරගත්තේ ඉන්පසුවය. 

 
ඔබේ සමාගම පිළිබඳව මහ බැංකුව හෝ කිසියම් රාජ්‍ය ආයතනයක් කළ විමර්ශනයක් සම්බන්ධයෙන් ඔබට දැනුම් දී තිබෙනවාද?   


පිළිතුර – නෑ…   


අඩුම තරමින් පොලිස් පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීමක්වත් සිදු වී තිබෙනවාද?   
පිළිතුර – නෑ.   


බෙස්ට් ලයිෆ් කියන්නේ පිරමීඩ ගනුදෙනුවක් කියල චෝදනා නැගෙනවා. ඔබට මේ චෝදනාව ගැන පැහැදිලි කිරීමක් කළ හැකිද? 

 
මම දන්නේ නෑ. (ඔහු ඇමතුමට සමුනොදීම දුරකථනය ක්‍රියා විරහිත කළ අතර ඉන්පසුව ගත් කිසිදු ඇමතුමකට ප්‍රතිචාර දැක්වූයේ නැත.)   


බෙස්ට් ලයිෆ් ඇතුළු පිරමීඩකරුවන්ට නීතිය පරක්කු ඇයි?   


2006 අංක 5 දරණ මුදල් විශුද්ධිකරණ පනත සහ 2006 අංක 6 දරණ මූල්‍ය ගනුදෙනු වාර්තාකිරීමේ පනත යටතේ ද මෙම පිරමීඩ යෝජනා ක්‍රම නීතිවිරෝධී ලෙස හඳුන්වා දී ඇත. වාණිජ නීතිය පිළිබද හසල දැනුමැති නීතිඥ සේනක ද සේරම් මහතා පැවැසුවේ මෙම පිරමීඩකරුවන් නීතිය මෙන්ම එයින් ගැලවෙන ආකාරය ද ඉතා හොඳින් දන්නා බවයි. ඔහු අවධාරණය කළේ මෙවැනි වංචා මුලිනුපුටා දැමීමට නම් නීතිය ක්‍රියාත්මක කරන ආයතන නිරන්තර අවදියෙන් පසුවී දැඩි කැපවීමෙන් ක්‍රියා කළ යුතු බවයි. මක්නිසාද යත් මෙම වංචාකරුවන් පවතින නීතියෙන් රිංගායාමට තරම් නිර්මාණශීලී බැවිනි. පිරමීඩාකාර සමාගම් මහ බැංකුවේ ලියාපදිංචි වන බැංකු නොවන මූල්‍ය ආයතන ගණයට අයත් නොවේ. මේවා හුදෙක්ම සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංචි සමාගම් වේ. ඕනෑම අයෙකුට ඕනෑම අරමුණක් සඳහා පෞද්ගලික සමාගමක් ලියාපදිංචි කර පසුව එය නීති විරෝධී කටයුතු සඳහා ක්‍රියාත්මක කළ හැකිය. මෙය ලංකාවේ කුප්‍රකට තත්ත්වයකි.   


කොරෝනා වසංගතයෙන් පසු මෙම නීති විරෝධී පිරමීඩකරුවන් යහමින් අතදිග හැර කටයුතු කළත් මහ බැංකුවට සිදුවී තිබෙන්නේ මහජනයා දැනුවත් කිරීමේ භූමිකාවක සිරවීමටය. මහ බැංකුවේ විසඳුම් හා බලාත්මක කිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඩී.එම්.ඩී.බී. දිසානායක මහතා ප්‍රකාශ කළේ මෙම වංචාවන් මුලිනුපුටා දැමීමට පරිපාලන ප්‍රමාදයන් සහ ප්‍රමාණවත් නීති බලතල නොමැතිකම බාධාවක් වී ඇති බවයි.   
“මගේ පෞද්ගලික අදහස නම් විවිධ රජයේ ආයතනවලට වාර්තා නොයවා එක තැනකින් ක්‍රියාත්මකවීමට හැකිනම් ඉතා හොඳයි. එහෙම නැත්නම් මේකෙ තේරුමක් නෑ. අපේ සිරුරට විෂබීජයක් ඇතුලු‍ වූ විට අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව එය ඉවත් කළ යුතුයි. අපි වැඩි වැඩියෙන් කාලය ගත කරන තරමට ශරීරයට වන හානිය වැඩියි.”   


විරෝධය යටපත් කිරීමට ප්‍රසිද්ධ මුහුණුවලින් ආවරණයක්. 

 
දුර්වල මූල්‍ය සාක්ෂරතාවය මෙවැනි වංචාවල වින්දිතයන් වීමට ප්‍රධාන හේතුවක් යැයි ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ විශ්ව විද්‍යාලයේ අළෙවිකරණ අධ්‍යයනාංශයේ ප්‍රධානී මහාචාර්ය නලින් අබේසේකර පවසයි. ලංකාවේ මූල්‍ය සාක්ෂරතාව දකුණු ආසියාවේ ඉහළම අගය වුවද ශ්‍රී ලංකාවේ විධිමත් පාරිභෝගික සමාජයක් නැති බවයි.   


“නීතී ප්‍රශ්නය මොහොතකට පසෙකට දමන්න. ආර්ථික විද්‍යාවට අනුව බැලු‍වත් මේ පිරමීඩකරුවන් නිසා රටේ ශ්‍රම දායකත්වයට වන හානිය සුළුපටු නෑ. නූගත් අය විතරක් නෙවෙයි. ගුරුවරුන්, ඉංජිනේරුවන් වැනි වෘත්තිකයන් පවා මේකට ගොදුරු වෙනවා. පිරමීඩ වංචනිකයන්ගේ අලෙවිකරණ උපායමාර්ගය මිනිසුන් ඇන්ඳීමේ කලාවක්. එය අලෙවිකරණය වැරදි ලෙස කියවීමක්. නිසි අලෙවිකරණය ආචාර ධර්ම හා ප්‍රමිති මාලාවක් අනුගමනය කරනවා.” මහාචාර්ය අබේසේකර පැවසීය.   


නීති විරෝධී පිරමීඩ යෝජනා ක්‍රමයක් වෙන්කර හඳුනා ගැනීමේදී සාමාන්‍ය ජනතාවට දුෂ්කරතා ඇතිවීම තේරුම් ගත හැකිය. අපගේ නිරීක්ෂණයට අනුව බෙස්ට් ලයිෆ් පන්නයේ මෙවැනි සමාගම් ප්‍රවර්ධනයට දැන හෝ නොදැන සිය දායකත්වය ලබාදෙන ජනප්‍රසිද්ධ චරිත රැසකි. ඒ අතර සම්මානලාභී ක්‍රීඩකයෝ, නළු නිළියෝ, දේශපාලකයෝ සහ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරිහු පවා වෙති. කණගාටුවට කරුණ වන්නේ මෙවැනි කූට ව්‍යාපාර හෙළිකිරීමේ වගකීම පැවැරී ඇති ජනමාධ්‍ය පවා මොවුන්ගේ ප්‍රයෝගයන්ට හසුව තිබීමයි. ඒ අතර ඇතැම් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ද වේ. කෙසේ වෙතත් දිනපතා වින්ධිතයින්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින හෙයින් මේ වනවිට ඔවුන් අතරෙන්ම පිරමීඩ විරෝධී ව්‍යාපාරයක් කැපී පෙනෙන ලෙස මතුව තිබේ. මෙසේ වින්දිතයන් විශාල ලෙස ඉහළ යාමට බලපා තිබෙන්නේ ද පිරමීඩයේ ඉහළ ධූරාවලිය කරා මෙහෙයුම් ලාභය පොම්ප කරමින් පහළම ස්ථරවල සිටින්නන්ගේ පොකැට්ටුවට තට්ටු වීමය.   


පිරීමීඩ ඉතිහාසය.   


පිරමීඩ යෝජනා ක්‍රමය ඇමරිකා එක්සත් ජනපදයේ 20 වැනි සියවසේ මුල් භාගයේදී ආරම්භ වූ අතර ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමේ සුපිරි ලාභ යෝජනා ක්‍රමයක් ලෙස එය ඉදිරිපත් කරනු ලැබුවේ ඉතාලි සංක්‍රමණිකයෙකු වන චාල්ස් පොන්සි විසිනි. පොන්සි විසින්ම එක්සත් ජනපද බලධාරීන්ට පැහැදිලි කර ඇති පරිදි පිරමීඩ ආකාරයේ යෝජනා ක්‍රම සඳහා ඉල්ලු‍ම පැන නගින්නේ ජනතාවගේ කෑදරකම හේතුවෙනි. එම කෑදරකම වැඩිපුර වෙහෙස නොබලා ඉක්මනින් මුදල් ඉපයීමට සහ පොහොසතෙකු වීමට ඇති ආශාව අවුස්සයි. 2005 දී ගෝල්ඩ් ක්වෙස්ට් පිරමීඩ ගැන හෙළිදරව් වන තුරු මෙරට පිරමීඩ ව්‍යාපාරයට එරෙහිව දේශීය නීති තිබුණේ නැත. ගෝල්ඩ් ක්වෙස්ට් එවක ක්‍රියා කර තිබුණේ මෙරටින් ඩොලර් මිලියන ගණනක් පිටතට පොම්ප කරන මාර්ගයක් හැටියටය. 2005 දී නව පිරමීඩ විරෝධී නීති හඳුන්වා දීමෙන් පසු ගෝල්ඩ් ක්වෙස්ට් අතුරුදහන් විය. එහෙත් වසර ගණනාවකට පසුව එම කළමනාකාරීත්වය විසින්ම ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා නමින් තවත් පිරමීඩ යෝජනා ක්‍රමයක් හඳුන්වා දෙන ලද බවට වාර්තා විය. 2017 දී යාපනය දිස්ත්‍රික්කයේ චාවකච්චේරි මහේස්ත්‍රාත් අධිකරණය මෙම ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා සමාගමට අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. ඒ, ප්‍රදේශවාසින් විසින් කරන ලද පැමිණිලි රැසකට අනුව චාවකච්චේරි පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවක් පදනම් කරගෙනය.   


මුදල් විශුද්ධිකරණයට පාර්ලිමේන්තුවෙන්ම පාර කපන යුගයක පිරමීඩකරුවෝ ද වඩාත් නිර්මාණශීලී සළු දවටාගෙන පිටියට බැස සිටිති. බෙස්ට් ලයිෆ් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගම (Best Life International Pvt Ltd) යනු මේ කුප්‍රකට ජාවාරමේ නිරත අලු‍ත්ම සමාගමකි. ජාල අළෙවිකරණය යන භාෂා ප්‍රයෝගයට මුවා වී ලංකාවේ තරුණ පිරිස් සිය දහස් ගණනින් රවටා වංචනික ලෙස මුදල් ඉපැයීමේ නිරත මේ ආයතනය ගැන මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය මගින් විමර්ශන වාර්තාවක් සිදු කර වැඩිදුර නීතිමය උපදෙස් සදහා නීතිපති දෙපාර්තමේන්තුවට යවා ඇත.  


ඔවුන්ගේ මුදල් ගනුදෙනුවල සැකසහිතභාවය නිසාම එම සමාගමේ ප්‍රධාන බැංකු ගිණුම් පවතින සම්පත් බැංකුව විසින් මේ සමාගම සම්බන්ධයෙන් සැකසහිත මුදල් ගනුදෙනු විමර්ශන වාර්තා දෙකක් 2008 සහ 2016 වසරවල සම්පාදනය කර මහ බැංකුවට යොමුකර තිබේ. මේ තරම් බරපතළ විමර්ශන ක්‍රියාවලියක් මැද වුවද බෙස්ට් ලයිෆ් සිය වංචනික ජීවන ක්‍රමය පවත්වාගෙන යන්නේ කෙසේද?   


ඊට ප්‍රධාන හේතුව නම් රටේ නම ගිය නළු නිළියන්, ක්‍රීඩා චරිත, සිවිල් චරිත පමණක් නොව රටේ ඉහළම දේශපාලන විධායකය පවා එම පිරමීඩකරුවන් ගෞරවනීය ලෙස ස්ථානගත කිරීමට ඔවුන්ට ඇති ශක්තියයි. එය සරල කතාවක් නොවේ. මෙය හුදු මූල්‍ය වංචාවක වෘත්තාන්තයක් ද පමණක් නොවේ.   


නිෂ්පාදන අංශය දිනෙන් දින කඩාවැටෙන ⁣මොහොතක රටේ ජීවනාලිය බඳු තරුණ ශ්‍රම ශක්තිය ව්‍යවසායකත්වයෙන් ඈතට වීසි කිරීම මෙහි නරකම තත්ත්වයයි. ව්‍යවසායකත්වය දිරිමත් කිරීම වෙනුවට මේ සිහින මාළිගාවලින් ඔවුන් බිමට වැටෙන්නේ අතේ ඇති පිච්චිය ද මේ වංචනිකයන්ට පූජා කළ පසුය. මහ බැංකුව යනු රටේ මූල්‍ය විනයේ නියාමකයාය. ඉතින් දැන්වත් මේ පාලනාංශ මේ දෙස කඩිනමින් දෑස් විවර කර බැලිය යුතුය.   


ලියුම්කරුවන්ගේ සටහන: නීති විශාරදයින්ගේ මතයට අනුව බොහෝ විට විවිධ වේශවලින් සහ නම්වලින් පෙනී සිටින්නේ එකම පිරමීඩ වංචා කරුවන් කණ්ඩායමකි. ඔබ මෙම ලිපිය කියවන අවස්ථාව වන විටත්, සැක සහිත සමාගමේ සහ මෙම පන්නයේ වෙනත් සමාගම්වල නියෝජිතයෝ සහ ප්‍රවර්ධනය කරන්නෝ වංචනික ලෙස පුද්ගලයින් තව තවත් ගොදුරු කර ගනිමින් සිටිති. ඇතැම් විට ඔබ ද ගොදුරකි.   
   

පියුමි ෆොන්සේකා සහ බිගුන් මේනක ගමගේ විසිනි /  සිංහලට සැකසුවේ – තිළිණි ද සිල්වා / www.lankadeepa.lk

 422 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply