සමාජ ජාලවල බිඳවැටීමෙන් සකර්බර්ග් ට සිදුවූ අලාභය!

ෆේස්බුක් සමාගමට අයත් ෆේස්බුක්, වට්ස්ඇප් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය තුනෙහි ඇතිවූ හදිසි බිඳවැටීම මත ඒවාට පිවිසීම පැය 6ක කාලයක් අවහිර වී තිබුණි.

මෙම බිඳවැටීමත් සමග ෆේස්බුක් හිමිකරු මාර්ක් සකර්බර්ග්ගේ ශුද්ධ වත්කමට අමෙරිකානු ඩොලර් බිලියන 7ක පාඩුවක් සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ සමග බ්ලූම්බර්ග් දර්ශකයට අනුව ඔහු ලෝක ධනවතුන්ගේ ලැයිස්තුවේ පස්වැනි ස්ථානය දක්වා පහළ බැස තිබේ.

ෆේස්බුක් හි කොටස් මිල 5%කින් පහළ වැටීම ඊට හේතුවී තිබුණි.

බ්ලූම්බර්ග් දර්ශකයට අනුව සැප්තැම්බර් මැද භාගය වනවිට සකර්බර්ගේ ශුද්ධ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 192ක් වූ අතර එය මේ වනවිට ඩොලර් බිලියන 120.9ක් දක්වා පහත වැටී තිබේ.

ශ්‍රී ලංකාවේ වේලාවෙන් ඊයේ රාත්‍රි 9.30 පමණ සිට ෆේස්බුක් සමාගමට අයත් ෆේස්බුක්, වට්ස්ඇප් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය තුනට පිවිසීම අවහිර වී තිබුණි.

ඒ අනුව එම සමාජ මාධ්‍ය පරිශීලනය කළ පුද්ගලයින් රැසක් සහ එම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ක්‍රියාත්මක වූ ව්‍යාපාර දැඩි අසීරුතාවයට පත් වුණි.

එහිදී සමාජ මාධ්‍ය බිඳවැටීම සම්බන්ධයෙන් ලොව පුරා රටවලින් පැමිණිලි මිලියන 10කට වැඩි ප්‍රමාණයක් අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් වී තිබූ බවද සඳහන්ය.

මේ සම්බන්ධයෙන් නිරීක්ෂණයන් සිදුකළ ඩවුන්ඩිටෙක්ටර් වෙබ් අඩවිය පැවසුවේ, ඔවුන් අත්දුටු විශාලතම සමාජ මාධ්‍ය බිඳවැටීම මෙය බවය.

මෙවැනි පරිමාණයෙන් සහ දිගු කාලීනව සමාජ මාධ්‍ය බිඳවැටීම දුර්ලභ සිදුවීමකි.

කෙසේවෙතත් මෙරට වේලාවෙන් අද (05) අලුයම 3.30 පමණ වනවිට ෆේස්බුක් සමාගමට අයත් ෆේස්බුක්, වට්ස්ඇප් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය තුන වෙත පිවිසීමට පරිශීලකයින්ට යළි හැකියාව ලැබී තිබුණි.

මේ අතර සිදුවීම සම්බන්ධයෙන් කනගාටුව පළ කරමින් ෆේස්බුක් සමාගම ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබුණි.

ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් සමාජ මාධ්‍ය ද හදිසි බිඳවැටීම සම්බන්ධයෙන් සඳහන් කරමින් ට්විටර් පණිවුඩ නිකුත් කර තිබුණි.

නමුත් පරිශීලක දත්තවලට හානි වූ බවට සාක්ෂි නොමැති බව ෆේස්බුක් සමාගම ප්‍රකාශ කර තිබේ.

කෙසේවෙතත් අදාළ බලධාරීන් විසින් සමාජ මාධ්‍ය බිඳවැටීමට නිශ්චිත හේතුවක් නිවේදනය කර නොමැත.

ෆේස්බුක්හි DNS සර්වරයේ එනම්, වෙබ් අඩවිවල නාමකරණ පද්ධතියේ දෝෂයක් ඊට හේතුවන්නට ඇති බව මාර්ගගත ජාල පිළිබඳ විශේෂඥයන් අනුමාන කරයි.

2019 වසරේදී ද ෆේස්බුක් සමාජ මාධ්‍යය මෙවැනිම බිඳවැටීමකට මුහුණදී තිබුණි.

මේ අතර ෆේස්බුක් හිටපු නිෂ්පාදන කළමනාකරුවෙකු වන ෆ්‍රැන්සිස් හෝගන් විසින් ද වෝල් ස්ට්‍රීට් නම් ජර්නලය වෙත ෆේස්බුක් සමාගමේ අභ්‍යන්තර ලියකියවිලි කිහිපයක් ලබාදීම හරහා එම සමාගම අර්බුදයකට මුහුණ පා ඇති බව ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය පෙන්වා දී තිබේ.

එහි දැක්වෙන්නේ ෆේස්බුක් සමාගමේ නිෂ්පාදන හා තීරණ හේතුවෙන් සිදුවන හානිය පිළිබඳව සමාගමේ දැනුවත්භාවය මෙමගින් හෙළිදරව් වී ඇති බවය.

එමෙන්ම ෆේස්බුක් හරහා සිදුකරන පර්යේෂණ මගින් වෛරය සහ වැරදි තොරතුරු වර්ධනය කර, මිනිසුන් හුදකලා කිරීම වර්ධනය කිරීමට හේතු වන ආකාරයක් පෙන්වන බවට චෝදනා කරමින් ඊට එරෙහිව ෆෙඩරල් නීතිය බලගන්වන ලෙසට ඉල්ලමින් හෝගන් විසින් නිර්නාමිකව පැමිණිල්ලක්ද ගොනු කර ඇති බව එම පුවත් සේවය පෙන්වා දෙයි.

ඉන්ස්ටග්‍රෑම් මගින් නව යොවුන් වියේ ගැහැණු ළමයින්ගේ මානසික සෞඛ්‍යයට හානි කළ හැකි බව එම සමාගම දැන සිටි බවද එයින් පෙන්නුම් කෙරෙන බව එම අනාවරණයේ වැඩිදුරටත් සඳහන්ය.

 437 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply