“කිරිපිටි, ගෑස් සහ සිමෙන්ති උග්‍ර හිඟයක්” මිල වැඩි කිරීම ගැන තීන්දුව අද!

කිරිපිටි, ගෑස් සහ සිමෙන්ති උග්‍ර හිඟයක් පවතින බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

සහල් මිලෙහි වෙනසක් ඇති වුව ද පිටකොටුවේ තොග වෙළෙඳ සල් වෙත සහල් තොග ලැබුණ ද සහල් මිලදී ගැනීම් සඳහා සිල්ලර වෙළෙඳුන්ගේ පැමිණීමේ පැහැදිලි අඩුවක් දක්නට ඇති බව ද වාර්තා වේ.

කොළඹ වරායේ බහාලුම් තුළ ඇති කිරිපිටි තොග නිදහස්කර ගැනීම ලබන සතියේ සිදු කිරීමට නියමිතව ඇති බවත් ඒ අනුව ලබන බ්‍රහස්පතින්දා පමණ වනවිට විවෘත වෙළෙඳපොළට කිරිපිටි නිකුත් කිරීමේ හැකියාවක් පවතින බව සඳහන් කරන කිරිපිටි ආනයනකරුවන්ගේ එකමුතුවේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය මහතා කිරිපිටි මිල ඉහළ දැමීම සඳහා අද පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබෙනු ඇති බවට විශ්වාසය පළ කළේය.

කෙසේ වුව ද ඉදිරියේදී තවදුරටත් මිල ඉහළ යෑමේ අවදානමක් පවතින බව වීරසූරිය මහතා පෙන්වා දුන්නේ ය.

ඉකුත් සති කිහිපය තුළ පැන නැගුණු ඩොලර් අර්බුදය හේතුවෙන් කොළඹ වරායේ බහාලුම් තුළ තිබූ කිරිපිටි තොග ඉවත්කර ගැනීමට බාධා ඇති වූ බව ද හෙතෙම පැවසීය.

දිවයිනේ සෑම ප්‍රදේශයකට ම පාහේ කිරිපිටි හිඟය තදින් ම බලාපා ඇති අතර ජනතාවට දිගු පෝලිම්වල රැඳී සිට කිරිපිටි මිලදී ගැනීමේ තත්ත්වයක් නිර්මාණය වී ඇති බව ද වාර්තා වේ.

අද කැබිනට් අනුමැතිය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන කිරිපිටි සඳහා වන රු. 200ක මිල ඉහළ දැමීමට අනුමැතිය ලැබුණ ද කිරිපිටි කිලෝග්‍රෑමයකින් රු. 150ක පාඩුවක් තවදුරටත් ලබන්නට සිදුවී ඇති බැවින් කිරිපිටි මිල නැවත වැඩිකිරීම අන්වාර්යයෙන් ම සිදුවිය යුතු බව කිරිපිටි ආනයනකරුවන් සඳහන් කරයි.

මේ අතර, 12.5 kgක ලිට්රෝ ගෑස් මිල ද ඉහළ දමන ලෙස ඉල්ලීම් ඉදිරිපත් වී ඇතැත් ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අද පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණයක් ලැබෙන බව සඳහන් කරන ලිට්‍රෝ සුරැකීමේ ජාතික එකමුතුව, ලෝක වෙළෙඳපොළේ මිල ගණන් අනුව ලිට්රෝ ගෑස් මිල ද ඉහළ දැමිය යුතු බව පෙන්වා දෙයි.

මේ වනවිට ලෝක වෙළෙඳපොළේ ගෑස් මෙට්‍රික් ටොන් 1ක මිල ඇමරිකානු ඩොලර් 800ක් වන බව ද ඔවුහු පෙන්වා දෙති.

සිමෙන්ති මිල වැඩිකිරීම සඳහා ද ඉල්ලීම් කර ඇති අතර මේ වනවිට විවෘත වෙළෙඳපොළේ සිමෙන්ති හිඟයක් පවතින බව ද වාර්තා වේ.

ඇතැම් ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිකරුවන් සිමෙන්ති වැඩි මිලට විකුණන බවට වාර්තා වීමත් සමග ම එසේ වැඩි මිලට අලෙවි කරන වෙළෙඳ සල් වැටලීමට පාරිභෝගික අධිකාරිය කටයුතු කරමින් සිටියි.

 671 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply