ලොක්කන්ගේ නොසැලකිල්ලෙන් දුම්රිය ගමන් දෙසතියක් පමා වෙයි!

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ප්‍රධාන දුම්රිය දෙපාර්තමේන්තුවේ ජේ‍යෂ්ඨ නිලධාරීන් මීට දින 23කට ඉහත කැඳවා ඔක්තෝබර් 1 වැනිදා සිට දුම්රිය ධාවනයට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරන ලෙසට ප්‍රවාහන ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි විසින් අවශ්‍ය උපදෙස් ලබාදුන්නද එම උපදෙස්වලට අනුව කටයුතු සිදුවී නැති නිසා දුම්රිය ධාවනය තවත් සති දෙකක් පමණ ඇනහිටින තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ප්‍රවාහන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇමැතිවරිය එසේ උපදෙස් ලබාදුන් 2021 සැප්තැම්බර් 07 වැනිදා සාකච්ඡාවට ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයාද සහභාගි වී ඇත.

කොවිඩ් නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමත් සමඟ මගී ප්‍රවාහන කටයුතු ඇනහිටි අතර දුම්රිය ධාවනයද ඇන හිටියේය.

දුම්රිය ධාවනය මෙසේ ඇනහිටීම නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට කෝටි ගණනක පාඩුවක් සිදුවී තිබියදීත් බලධාරීන් විෂය භාර ඇමැතිවරියගේ උපදෙස් තුට්ටුවකට මායිම් නොකර කටයුතු කිරීම නිසා තවත් සති දෙකක පාඩුවක් විඳීමට සිදුව ඇතැයි ප්‍රවාහන අමාත්‍යාංශයීය ආරංචි මාර්ග සඳහන් කරයි.

දුම්රිය වෘත්තීය සමිති විසින්ද, රට විවෘත කරනවාත් සමඟ දුම්රිය ධාවනය සිදුකිරීමට අවශ්‍ය කටයුතු සැලසීමට පියවර ගන්නා ලෙස දුම්රිය බලධාරීන් දැනුවත් කර ඇතැයිද දැනගන්නට ඇත.

දුම්රිය ධාවනය යාවත්කාලීන කිරීමට දුම්රිය එන්ජින්වල තිරිංග පද්ධති, විදුලි පද්ධති, එන්ජින් හා මැදිරිවල සේවා පද්ධති මෙන්ම දුම්රිය මාර්ග පද්ධතියද දුම්රිය ධාවනයට සුදුසු පරිදි සැකසිය යුතුව ඇතත් ඊයේ වන විටත් ඒ කිසිදු අංශයක් කෙරෙහි අවධානයක් සිදු නොකර, දුම්රිය ධාවනයට තවත් සති දෙකක කාලයක් ගතවනු ඇති බවට බලධාරීන් විසින් ප්‍රකාශයට පත්කිරීම විහිළුවක් බවද දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ සංචරණ සීමා තවදුරටත් බලපැවැත්වීම හේතුවෙන් ඉදිරි සති දෙක තුළ දුම්රිය සේවා ක්‍රියාත්මක නොවන බවයි. 

ශ්‍රී  ලංගම හා පෞද්ගලික බස් සේවාවන් (01දා) සිට ක්‍රියාත්මක වුවද එම බස් සේවාවන් පළාත් තුළ පමණක් ධාවනය කෙරෙන බවද ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරයි.

 514 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply