බදියුදීන් යළිත් රිමාන්ඩ් කිරීමට බලපෑ නීතිපති දෙපාර්තමේන්තුවේ කරුණු දැක්වීම!

මෙහෙකාර සේවයේ යෙදී සිටියදී ජූඩ් කුමාර් ඉෂාලිනී දැරිය පිළිසසුම් තුවාල ලබා මියගිය සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් යන සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සැකකරු ලබන 14 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අද (ඔක්. 1) නියෝග කළා ය.

සැකකරු මෙම අවස්ථාවේ දී ඇප මත මුදා හැරිය හොත් සිය බලය උපයෝගී කරගනිමින් සාක්ෂිකරුවන්ට හා සාක්ෂිවලට බලපෑම් කිරීමට හැකියාව පවතින හෙයින් සහ විමර්ශන කටයුතු ද තවමත් අවසන් වී නොමැති හෙයින් ඇප පනතේ විධිවිධාන ප්‍රකාරව ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව මහේස්ත්‍රාත්වරිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා සිටියා ය. 

පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේ ය. 

“ස්වාමිනී, මිය ගිය දැරිය පිළිස්සීමට ලක් වූ නිවසේ තිබී ලබාගන්නා ලද සීසීටීවී කැමරා පද්ධතියට සම්බන්ධ රජයේ රස පරික්ෂක වාර්තා මෙතෙක් ලැබී නෑ. එම වාර්තා ලැබීමෙන් පසුව ඊට අදාළව සැකකාර රිෂාඩ් බදියුදීන්ගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමට අවශ්‍ය වී තිබෙනවා. තවමත් සැකකරු සම්බන්ධයෙන් විමර්ශන අවසන් නෑ. මෙම අපරාධය සිදු වූ අවස්ථාවේ සිට මෙම සැකකරුවන් විසින් එය යටපත් කිරීමට දැඩි උත්සහයක් දරා තිබුණා. දැරිය ගිනි ඇවිලීමට ලක් වූ අවස්ථාවේ එම නිවසට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු පැමිණ එය යටපත් කිරීමට උත්සාහ කර තිබු බවට අනාවරණය වුණා. නමුත් මේ වන තෙක් පොලිස්පතිවරයා එම නිලධාරියා සම්බන්ධයෙන් කිසිදු විනය ක්‍රියා මාර්ග ගෙන නෑ. 

මෙම සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී මියගිය දැරිය පිළිබඳව කිසිවක් නොදන්නා බව සිය කට උත්තරයෙන් සඳහන් කර තිබුණත් එය පැමිණිල්ලට පිළිගත නොහැකි කරුණක් ස්වාමිනී. සාමාන්‍යයෙන් අපේ රටේ දේශපාලකයින් මුලින් ම හිතන්නේ, තමන්ගේ පවුලේ සාමාජිකයින් ගැන ඉතින් එම න්‍යායට අනුව රටේ වගකිවයුතු පුද්ගලයෙකු, දේශපාලන නායකයෙකු ලෙස සැකකරුට තමන්ගේ නිවසේ සිටි මෙහෙකාරියගේ ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම තිබුණා. මෙම සැකකරු මීට පෙර වෙනත් නඩුවක් සම්බන්ධයෙන් බන්ධනාගාරයේ රඳවා සිටින විට එහි වෛද්‍යවරයෙකුට පවා තර්ජනය කර තිබුණා. ඊට සතියකට පසුව බන්ධනාගාරය තුළ දුරකතනයක් භාවිතා කර තිබුණු බව අනාවරණය වුණා.

මීට පෙර නඩුව මෙම අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී පවා සැකකරුගේ ලේකම්වරයෙකු අධිකරණ ශාලාවට පැමිණ නීතිඥවරුන්ගේ දේශන පටිගත කර සැකකරු වෙත ලබා දී ඇති බවට සැක මතු වී තිබෙනවා. ස්වාමිනී, පසුව එම පුද්ගලයාගෙන් අධිකරණය ඉදිරියේ කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඔහු පුද්ගලික මාධ්‍ය ආයතනයක සේවය කරන බවට පැවසුවා. ඒ අනුව එම රූපවාහිනී නාලිකාවේ විධායක අධ්‍යක්ෂවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගනු ලැබුවා. එම ප්‍රකාශයට අනුව මෙම ලේකම්වරයා අදාළ ආයතනයේ නිදහස් මාධ්‍යවේදියෙකු වශයෙන් කටයුතු කරන අතර මෙම සැකකරු ද එම ආයතනයේ කොටස්කරුවෙකු ලෙස කටයුතු කරන බවට අනාවරණය වුණා.

මෙම සැකකරු සම්බන්ධයෙන් තව ම විමර්ශන අවසන් කර නෑ ස්වාමිනී. ඒ අනුව, සැකකරුට ඇප නියම කළහොත් විමර්ශනවලට බාධා විය හැකි බැවින් ඇප ප්‍රතික්ෂේප කර රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පැමිණිල්ල ඉල්ලා සිටිනවා.”

මෙහි දී සැකකරු වෙනුවෙන් නීතිඥ එන්.එම්. සහීඩ් මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේ ය. 

මියගිය දැරිය මෙහෙකාර සේවය සඳහා තම සේවාදායකයාගේ නිවසට පැමිණි අවස්ථාවේ සහ ඇය මියගිය අවස්ථාවේ තම සේවාදායකයා රක්ෂිත බන්ධනාගාරගතව සිටි බව නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කළේ ය.

එසේ ම, සැකකරු සම්බන්ධ විමර්ශන කටයුතු බොහෝදුරට අවසන් වී ඇති හෙයින් ඔහු ඕනෑ ම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙස නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. 

ඒ අනුව, සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරු ලබන 14 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ අතර එදින සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළා ය.

 478 total views,  20 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply