නාමයෝජනා භාරදෙන අවස්ථාවේදිම වත්කම් බැරකම් ලබාදිමේ යාන්ත්‍රණයක්!

මැතිවරණ කොමිෂන් සභාව විසින් සකසා ඇති මාධ්‍ය උපමාන කඩකරන ජනමාධ්‍ය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ බලය එම කොමිෂන් සභාවටම ලබාදෙන ලෙස එහි සභාපති නිමල් පුංචිහේවා මහතා මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ දෙවන දිනටත් සාක්ෂි ලබාදෙමින් ඊයේ (30) පැවසීය.

එම මාධ්‍ය උපමාන පාර්ලිමේන්තුවට යොමුකර අනුමත කර ගැනීම අත්‍යාවශ්‍ය බවද හෙතෙම කීවේය.

මැතිවරණ සමයේ ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය නියාමනය සඳහා ක්‍රමවත් වැඩපිළිවලක් පැවතිය යුතු බවද ඔහු අවධාරණය කළේය.

එමෙන්ම,විවිධ හේතු මත දිගින් දිගටම ප්‍රමාද වන පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා සහය දක්වන ලෙස පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති,සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී මැතිවරණ කොමිසන් සභාවෙන් ඉල්ලා සිටියේය.

වර්තමානයේ ක්‍රියාත්මක පළාත් පාලන ජන්ද විමසීමේ පනත යටතේ පවතින අපේක්ෂකයන්ගේ ඇප අවලංගු කිරීමේ ක්‍රමවේදයේ පුළුල් සංශෝධනයක් සිදුවිය යුතු බවද මැතිවරණ කොමිසන් සභාව කාරක සභාවේදී සඳහන් කළේය.

ආබාධිත අයට ජන්දය භාවිත කිරීම සඳහා ජංගම ජන්ද භාවිත කිරීමේ ක්‍රමවේදයක් සැකසිය යුතු බවටද එම කොමිසන් සභාව මෙහිදී යෝජනා කළේය. දෑස් නොපෙනෙන පුද්ගලයින්ට බේල් ක්‍රමය ඔස්සේ ජන්දය භාවිත කිරීමට අවස්ථාව ලබා දීමට හැකි වන පරිදි නව සංශෝධන සිදුකළ යුතු බවද මැතිවරණ කොමිෂන් සභාවේ මතය විය.

විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ජන්දබලය ආරක්ෂා වන පරිදි නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවද ඔවුහු පෙන්වා දුන්හ.

නාම යෝජනා භාර දෙන අවස්ථාවේදීම වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කළ යුතු බවත්, මැතිවරණ ආචාර ධර්ම නීතිගත කිරීමට කටයුතු කළ යුතු බවත් මැතිවරණ කොමිසන් සභාව කාරක සභාව හමුවේ කීවේය.

විද්‍යුත් ජන්ද ගණනය කිරීමේ ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බව කොමිසන් සභාවේ මතය වු අතර, ජන්දපොළ තුලදීම ජන්දය ගණන් කිරීම වඩාත් ප්‍රායෝගික බව කාරක සභාවේ සභාපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

 393 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply