ඩොලර් අර්බුදයට විසඳුමක් ගෙන එන සංචාරක කර්මාන්තය!

ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයා ගැනීමට හැකි කර්මාන්ත අතර, අද වන විට ප්‍රමුඛස්ථානයට එන්නේ සංචාරක කර්මාන්තයය. එයට හේතුව, රටේ ආර්ථික වර්ධනයට එය බෙහෙවින්ම උපකාර වන ව්‍යාපාරයක් වන බැවිනි.

ශ්‍රම සූක්ෂ්ම (Labour Intensive) කර්මාන්තයක් ලෙස සංචාරක කර්මාන්තය ලොව විශාල පිරිසකට රැකියා සපයන සේවා යෝජකයකු ලෙස ක්‍රියා කරයි. එනිසාම මාලදිවයින, හොංකොං, සිංගප්පූරුව, තායිලන්තය, ජැමෙයිකාව, බහමාස්, බාලි, හවායි, බාබඩෝස් වැනි ලොව සංචාරක කර්මාන්තයෙන් විනිමය උපයන රටවල් අතරට ශ්‍රී ලංකාව ද එක්ව සිටී.

ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තය වෙත සිත යොමු කර ඇත්තේ, එය රටට විදේශ විනිමය උපයන කර්මාන්තයක් මෙන්ම, රැකියා සපයන ව්‍යාපාරයක් වශයෙන් ද, රටේ ආර්ථිකයට විසල් මෙහෙවරක් ඉටු කරන බැවිනි.

ශ්‍රී ලංකාව මෙන්ම සංවර්ධනය වෙමින් පවත්නා අනෙකුත් රටවල ද ආර්ථිකය බොහෝ කලක් පෝෂණය කර ඇත්තේ, පාරම්පරික භෝග අපනයනයෙනි. එහෙත්, ජගත් තරගකාරීත්වය හමුවේ එකී භෝග අපනයන ක්‍රියාදාමය අස්ථාවර වූ පසු, ඊළඟට පිවිසිය හැකි පහසුම විකල්ප ආර්ථික විනිමය ඉපැයීමේ ක්‍රියාවලිය වූයේ, සංචාරක කර්මාන්තයය. එය ‘ආගන්තුක සත්කාරය’ (Hospitality Industry) ප්‍රධාන කර ගත් මිනිස් සබඳතා ඇති කරන මානුෂීය කර්මාන්තයකි.

ශ්‍රී ලංකාව සැලසුම් සහගතව සංචාරක ව්‍යාපාරික ක්ෂේත්‍රයට අවතීර්ණ වූයේ 1966 වසරේදීය. ඒ, ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය පිහිටුවීමෙනි. එනමුත් ඊට පෙර සිටම විදේශිකයන් සංචාරකයන් ලෙස මෙරටට පැමිණීමේ වර්ධනයක් තිබුණි.

රුපියලේ අගය

රාජ්‍ය සංඛ්‍යාලේඛනවලට අනුව (ලංකා සංචාරක මණ්ඩලය පිහිටු වීමට පෙර) 1961දී මෙරටට සංචාරකයන් 27777ක් පැමිණ ඇති බව සඳහන්ය. 1980 දශකයට එළැඹීමත් සමඟ, රට තුළ හට ගත් අභ්‍යන්තර යුද ගැටුම් නිසා, ක්‍රමයෙන් වර්ධනය වී ගෙන ආ සංචාරක කර්මාන්තයට පහරක් එල්ල විය. 1989 වසර දක්වාම එම අහිතකර තත්ත්වයේ වෙනසක් පෙන්නුම් කළේ නැත‍.

1982දී 4,07,000ක් වූ මෙරටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව 1988 වන විට 87,000 දක්වා පහත වැටී තිබිණි. එනමුත් 1990 දශකය ආරම්භයත් සමඟම යළිත් මෙරට සංචාරක ක්ෂේත්‍රය සතුටුදායක තත්ත්වයක් පෙන්නුම් කළේ, සියයට 70ක වර්ධන වේගයක් සටහන් කරමිනි.

එදා රජයට එක් විදේශීය සංචාරකයකු සඳහා වැය කිරීමට සිදුව තිබුණේ රුපියල් 230ක මුදලකි. ඒ සඳහා විදේශීය සංචාරකයකු ගෙන් ශ්‍රී ලංකාවට ලැබුණු විනිමය ප්‍රමාණය රුපියල් 16,000ක් විය. රුපියලේ අගය මත අද මේ සංඛ්‍යාව විශාල ලෙස වෙනසකට ලක් වී ඇති බව සිහි තබා ගත යුතුවේ.

1989 වසර අවසානය වන විට මෙරටට සංචාරක කර්මාන්තයෙන් රුපියල් මිලියන 2774ක් ඉපැයීමට හැකිව තිබුණි. එය 1990 වසරේදී රුපියල් මිලියන 30 ඉක්ම වීමට සමත් විය. සංචාරකයන්ගේ පැමිණීම ද 297888 දක්වා වර්ධනයක් දක්නට ලැබිණි.

සංචාරක කර්මාන්තය පිළිබඳ රජයේ අවධානය යොමු වීමත්, පැවැති හෝටල් සහන පොලියක් මත නවීකරණයට අත ගැසීමත්, සංචාරක පරිවහනය සඳහා අවශ්‍ය වාහන ගෙන්වීමට ප්‍රතිමූල්‍යගත පහසුකම් ලබා දීමත්, සංචාරක ක්ෂේත්‍රයේ දියුණුවට දිරි ගැන්වීමක්ව තිබිණි. 1982 සිට 1996 දක්වා කාලය තුළ අර්බුද මධ්‍යයේ වුව ද සංචාරක හෝටලවල කාමර සංඛ්‍යාව සියයට 49කින් ඉහළ ගොස් තිබිණි. 1982 වසර වන විට සංචාරක හෝටල සතුව තිබූ කාමර සංඛ්‍යවට වඩා 1996 වන විට කාමර 11255කින් වැඩි වී තිබිණි. 1995 වසරේදී සංචාරක කර්මාන්තයෙන් ශ්‍රී ලංකාවට ලැබුණු විදේශ විනිමය ප්‍රමාණය රුපියල් බිලියන 11කි.

නිෂ්පාදන සීමා

ලෝකයේ ප්‍රධාන කර්මාන්ත ගත් විට ඒවායේ නිෂ්පාදනයේ යම් සීමාවක් දැකිය හැකිය. එනමුදු සංචාරක කර්මාන්තයට එවැනි සීමාවක් නැති වීම විශේෂ වාසියකි. තවත් සුවිශේෂ වාසියක් නම්, මෙරටට එන විදෙස් සංචාරකයන් ගනුදෙනු කරන්නේ ලොව වැඩිම ඉල්ලුමක් පවතින මුදල් ඒකක සමඟින් වීමය. වර්තමානය වන විට එය අමෙරිකානු ඩොලර්වලින් ලැබීම රටට විශේෂ වාසියකි. එබැවින් රටට බලපා ඇති අය-වැය පරතරය පියවා ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් එය භාවිත කළ හැකිය. ලෝකයේ සෑම රටක්ම පාහේ සංචාරක කර්මාන්තය කෙරෙහි දැඩි විමසිල්ල යොමු කර ඇත්තේ, එමඟින් උදා කර ගත හැකි මෙකී ආර්ථික යහපත සැලකිල්ලට ගනිමිනි. එයට හේතුව, එහි ප්‍රධානතම ප්‍රතිලාභය රජය වෙත යොමු වන බැවිනි. සංචාරකයන් තම ගමනාන්තයේදී වැය කරන විදේශ විනිමය රාජ්‍ය භාණ්ඩාගාරයට ලැබීමෙන්, එහි ‘විනිමය වත්කම්’ ඉහළ නඟී. ඊට අමතරව සංචාරක ක්ෂේත්‍රය හා බැඳුණු ආයතනවලින් අය කෙරෙන බදු මඟින්, රජයට ආදායම් ලැබේ. සංචාරක ප්‍රවේශ ගාස්තු, ගුවන් තොටුපොළ ගාස්තු, රේගු ගාස්තු ආදිය මඟින් ද රජයට විශාල ආදායමක් ලැබේ.

සංචාරක කර්මාන්තය යනු, සෘජු හා වක්‍ර වශයෙන් රැකියා උත්පාදනය කරන්නකි. තරුණ රැකියා හිඟයට පිළියමක් වශයෙන් සාධනීය ලෙස එය යොදා ගත හැකිය. විධායක හා කළමනාකරණ පියවර හැර, සාමාන්‍ය අධ්‍යාපන මට්ටමක සිටින තරුණ පරපුරට වුව ද සංචාරක ක්ෂේත්‍රයේ නිපුණත්වයක් නොමැතිව (Unskilled) රැකියාවක නිරත විය හැකිය.

දේශීය සම්පත්

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨාධිපතිවරයකු, හිටපු උපකුලපතිවරයකු හා වර්තමාන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති, මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ‘කොරෝනා හේතුවෙන් බිඳ වැටුණු සංචාරක ක්ෂේත්‍රය නැවත බල ගැන්වීම’ සම්බන්ධයෙන් දක්වන්නේ මෙවැනි අදහසකි.

“කොවිඩ් උවදුරත් එක්ක අපේ ආර්ථිකය දැඩි කම්පනයකට ලක් වුණා. ඊට කලින් අපේ ආර්ථිකයට ගැටලුවක් එල්ල වෙලා තිබුණෙ නෑ. පල ගැන්වෙමින් තිබුණු අපේ ආර්ථිකය වේගයෙන් දුවන ආර්ථිකයක් බවට පත් කිරීමයි අපට කරන්නට තිබුණෙ. එහෙත්, අපි දේශීය සම්පත් මත යැපෙන ප්‍රමාණයට වඩා, අපේ ආර්ථිකය ගෝලීයකරණය වෙලා තිබෙන ප්‍රමාණය වැඩියි. ඒ කියන්නේ අපේ රට කුඩා වුණාට, ආර්ථික සම්බන්ධතා අතින් ලෝකයත් එක්ක තියෙන සම්බන්ධය විශාලයි.

මේ කම්පනය අපේ රටට ප්‍රබලව දැනෙන්නේ ඒ නිසයි. උදාහරණයක් හැටියට සංචාරක කර්මාන්තය ගත්තොත්, අපේ රටට දැන් සංචාරකයො එන්නෙ නෑ. සාමාන්‍ය පරිදි රටට සංචාරකයො එන තත්ත්වයක් තිබුණා නම්, අද අපට විනිමය අනුපාතිකයේ ගැටලුවක් එන්නෙ නෑ. විදේශ සංචාරකයන් රටට එනකොට, විදේශ විනිමය රට තුළට ගලා එනවා. අපේ රටේ ජාතික ආරක්ෂාව ඉහළ මට්ටමක තිබෙන නිසා, පාස්කු දින ප්‍රහාරයත් එක්ක මතුවී තිබුණු ජාතික ආරක්ෂාව පිළිබඳ ගැටලුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පැමිණීමත් එක්ක යථා තත්ත්වයට පත් වුණා. ඒත්, කොවිඩ් උවදුරත් එක්ක ඒකෙ ප්‍රතිලාභ ලබා ගන්න බැරි වුණා.

එහෙම තිබියදී ලංකාවට විනිමය ගෙනෙන විදේශ ආමුඛ ප්‍රේෂණ (ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙන එන දෙවැනි මූලාශ්‍රය වන) විදේශ සේවා නියුක්තිකයන් විසින් උපයා මෙරටට එවන ඩොලර් ප්‍රමාණය ගිය වසරේ වැඩි වී තිබෙනවා. ඒ සංචිතයයි, අපනයනයි විතරයි අපට තිබෙන්නේ. නිරෝධායන කාලයේ වුණත් වෙළෙඳ කලාපය විවෘත කරලා, එන්නත් කිරීම් සිදු කරලා, අපනයන කිරීම් නොකඩවා සිදු කෙරෙනවා. දුෂ්කර තත්ත්වයකදී වුවත් ඒවා කර ගෙන යෑම රටක් විදිහට විශිෂ්ටයි. ඒත් අපට ඉදිරියට එන්න, මේ අපනයනය මදි. සංචාරක කර්මාන්තයෙන් සහ සෘජු පෞද්ගලික ආයෝජන නැති වෙලාවක තමයි රජයට දේශීය ආර්ථිකය බලගන්වන්න වෙලා තියෙන්නෙ.”

සංචාරක ආකර්ෂණයට හිතවාදී ස්වාභාවික උරුම ගණනාවක්ම අප රට තුළ පැවතීම, සංචාරක කර්මාන්තයට විශාල වාසියකි. දේශගුණය, පාරිසරික සෞන්දර්යය, අතීත උරුම, මේ සියල්ලම අප රට සතුය. එනිසා ස්වාභාවික ආකර්ෂණය සඳහා වෙනමම ආයෝජන කිරීමට රජයට අවශ්‍ය නැත. ඒවා විදෙස් සංචාරකයන්ට දැක බලා ගැනීමට හා විඳ ගැනීමට ඉඩ සැලසීම, පිරිවැය රහිත ආයෝජනයකි. අවශ්‍ය වන්නේ ඒ සඳහා යහපත් පසුබිමක් රට තුළ නිර්මාණය කර ගැනීම පමණකි.

බන්දුල ගුණරත්න / www.dinamina.lk

 420 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply