බයිපාස් සැත්කමට පෙර හරින් ප්‍රනාන්දු තැබූ සංවේදී සටහන!

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා අද (ඔක්. 1) දිනයේ බයිපාස් සැත්කමකට භාජනය වීමට නියමිතය.

ඊට පෙර ඊයේ (සැප්. 30) හරින් ප්‍රනාන්දු මහතා සිය ෆේස්බුක් ගිණුමේ සංවේදී සටහනක් තබා තිබේ.

හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් හරින් ප්‍රනාන්දු මහතා රෝහල් ගත කර තිබුණේ සැප්තැම්බර් 28 වන දා ය.

හරින් ප්‍රනාන්දු මහතා තැබූ සම්පූර්ණ සටහන පහතින් දැක්වේ.

“හෙට ඔක්තෝබර් පළ වන දා. මම තීරණාත්මක පැය අටක සැත්කමකට මුහුණ දෙනවා. පහුගිය මැයි මාසෙ 1 වන දාත් මේ වගේ ම ජීවිතයේ තීරණාත්මක පරීක්ෂණයකට මුහුණ දුන්නා.

මුළු ජීවිතය ම අභියෝගයක් වගේ ම සෑම දවසක් ම තීරණාත්මක දවසක් කියලා මේ කෙටි කාලය තුළදී මට අත්දැකීමෙන්ම තේරුම් ගන්න පුළුවන් වුණා. ඒ තුළින් මම මගේ ජීවිතයට බොහෝ පාඩම් ඉගෙන ගත්තා.

ජීවිතයේ යම් යම් කාරණා සම්බන්ධව මම විවිධ අවස්ථාවල අවදානම් සහගත පරීක්ෂණ වලට මුහුණ දීලා තියෙනවා. අභියෝග සහ අවදානමට මුහුණ දීමට කිසිම වෙලාවක මම පසුබට වෙලා නෑ.

නමුත් සම්පූර්ණයෙන් ම ජීවිතය සම්බන්ධව පරීක්ෂණ වලට මුහුණ දීමට ලැබීම අනෙක් සේරට ම වඩා අභියෝගාත්මකයි. අවදානම් සහගතයි.

හෙට මුහුණ දෙන්නෙ ජීවිතය සම්බන්ධ අන්න එහෙම අවදානම් සහගත දෙවන පරීක්ෂණයට.

ඒ වෙනුවෙනුත් මම සූදානම්!

එක ම අභියෝගය දෙවරක් භාර ගන්න එකත් එක අතකට පුදුමාකාර අත්දැකීමක්.

මම  රෝහල්ගත වූ බව දැනගත්ත මොහොතේ ඉඳලා මට සුවය ප්‍රාර්ථනා කළ, ඒ වෙනුවෙන් වෙහෙසුන, අදටත්, මේ මොහොතේත් සොබාදහමේ සහ විවිධ ආගම්වල ආශිර්වාදය පතන, හිතා ගන්න බැරි තරම් විශාල පිරිසකගේ ප්‍රාර්ථ මට විශාල ශක්තියක්. මා ගැන විමසීම් කළ සියලුදෙනාට ම ස්‍තූතියි.

ජීවිතය සම්බන්ධ මහා අරුතක් ඒ සියලු දෙනා එක් කළ බව ආදරයෙන් මතක් කරනවා.

මගේ පවුලේ සියලු දෙනා,ම ගේ වෛද්‍යවරුන්, මගේ හිත මිතුරන්, වගේ ම මාව විවේචනය කළ අය පවා මට හදවතින් කළ ආශිර්වාදය ශක්තියක් වුණා.

අසනීප බවක් නොදැනෙද්දී පවා, තීරණාත්මක අවස්ථාවක් දෙකකදී කල් තියා මට ඒ බවට අනතුරු ඇඟවීම කළේ දෙවියන් හෝ ස්වභාදහමේ කිසියම් බලවේගයක් යයි මට හිතෙනවා.

ඒක තාමත් මට අදහාගන්නට බැහැ.

ඉතින්, හෙටින් පසු තවදුරටත් මිනිසුන්ගේ ජීවිත ආලෝකමත් කිරීම වෙනුවෙන් වෙන් කළයුතු බවට මගේ හෘද සාක්ෂිය මට නියෝග කරනවා.

මට ශක්තිය දුන්නු, මග වටේ අත්වැල් පවුරක් වුණු, ඇතැම් විට මා එක්ක උරණ වූ සියලු දෙනා වෙනුවෙන් පවා කැපවිය යුතුයි කියලා මගේ හෘද සාක්ෂිය මට නියෝග කරනවා.

මම හැමදා ම සත්‍ය සහ හදවතට එකඟව හරි කියන දේ වෙනුවෙන් පෙනී සිටියා.

ඉතින්, මීටත් වඩා ලෙංගතුව, මීටත් වඩා ශක්තිමත්ව, මීටත් වඩා හෘදයාංගමව අනාගතයේ හමුවෙමු.

ඔබට ජය!”

 375 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply