නිදහස් කරගන්න බැරි වූ කිරිපිටි බහාලුම් බංග්ලා දේශයට!

රට තුළ පවතින ඩොලර් හිඟය හේතුවෙන් නිදහස් කර ගැනීමට නොහැකි වී ඇති ආනයනික කිරිපිටි බහාලුම් බංග්ලාදේශයට යැවීමට අදහස් කර ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ එකමුතුවේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ ඩොලරයක් 203කට ගැනීමට හැකියාවක් නොමැති බවත්, ඩොලරය රුපියල් 240ක් වැනි කළුකඩ මිලකට වෙළෙඳපොළෙන් ගැනීමට සිදුව ඇති බවත්ය.

එවැනි තත්ත්වයක් මත කිරිපිටි කිලෝග්‍රෑමයක් ඩොලර 4.10ට ආනයනය කර රුපියල් 1,145ක වැනි මිලකට විකිණීය නොහැකි බවත් එම නිසා රුපියල් 300ක මුදලක් පාඩුවන බවත් වීරසූරිය ප්‍රකාශ කරනු ලබයි.

අදාළ හේතු කාරණා මත ආනයනය කරන ලද කිරිපිටි බහාලුම් බංග්ලාදේශයට යැවීමට අදහස් කරගෙන තිබෙන බවද ඒ මහතා ප්‍රකාශ කර සිටී.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිදහස් කර ගැනීම සඳහා මහ බැංකුව රාජ්‍ය බැංකු 2 කට ඩොලර් මිලියන 50ක් නිකුත් කර ඇතත් කිරිපිටි මුදාහැර ගැනීමේදී තවමත් ඩොලර් හිඟයක් පවතින බවත් ලක්ෂ්මන් වීරසූරිය මහතා ප්‍රකාශ කරයි.

ආනයනය කර ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මුදා ගැනීම සඳහා අගමැතිතුමා හට වැඩපිළිවෙළක් යෙදීමේ දැඩි අවශ්‍යතාවක් තිබුණත් ඇතැම් නිලධාරීන් ක්‍රියාත්මක වන ආකාරය අනුව කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිදහස් කර ගැනීමේදී ප්‍රමාදයක් පවතින බවද වීරසූරිය මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

කෙසේ වුවද කොළඹට ඇතුළු ප්‍රදේශ අවට කිරිපිටි අලෙවිසල්වල ඊයේ (30දා) දිනත් දිග පෝලිම් දක්නට ලැබුණු අතර කිරිපිටි පාරිභෝගිකයන් ප්‍රකාශ කර සිටියේ පැය දෙකකට තුනකට ආසන්න කාලයක් කිරිපිටි මිලදී ගැනීම සඳහා පෝලිමේ සිටීමට සිදුවූ බවත් එසේ වුවත් කිරිපිටි මිලදී ගැනීමට නොහැකිව ආපසු යෑමට සිදුවූ බවත්ය.

 382 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply