රට වැසීමේ ආර්ථික ප්‍රතිවිපාක…

අද වන විට ලෝකයම කොවිඩ් අර්බුදයෙන් වැසී පවතින වටපිටාවක ශ්‍රී ලංකාව ද සිටින්නේ කොවිඩ් හතරවන රැල්ලේ අභියෝගයන්ට මුහුණ දෙමිනි. ආණ්ඩුව කොවිඩ් පළමු රැල්ල සහ දෙවැනි රැල්ල පැමිණි අවස්ථාවේ දී රට අගුළු දමා එය පාලනය කර ගැනීමට හැකි විය. කොවිඩ් තුන්වන රැල්ල අනෙක් රැලි වලට වඩා දරුණු බවක් ඇති වූ අතර රෝගය ක්‍රමයෙන් පැතිරී ගොස් මිය යන ප්‍රමාණය ද වැඩි විය. තුන්වන රැල්ලේ දී රජය අවසාන මොහොතේ හෝ රට අගුළු දමා ආර්ථිකමය වශයෙන් සිදු වන අලාභය පසෙක දමා රට සති කිහිපයකට අගුළු දමා තත්ත්වය කිසියම් ආකාරයකට මර්දනය කර ගැනීමට හැකියාව ලැබිණි. කෙසේ හෝ රජයේ අපේක්ෂාව වී තිබුණේ අත්‍යවශ්‍ය සේවා පවත්වා ගනිමින් ආර්ථික අංශයන් කඩා වැටීම වළක්වා ගැනීම හා දැඩි සංචරණ සීමා මඟින් රෝගය පාලනය කිරීමයි. ඒ හා සාපේක්ෂව රජයේ අපේක්ෂාව වන්නේ කඩිනමින් මුළු ජනගහනයෙන් 70% කට වැඩි ප්‍රමාණයක් එන්නත්කරණය සිදු කර ආරක්ෂා කර ගැනීම්යි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ මෙම තුන්වන රැල්ල නිම වීමටත් පෙර ඉන්දියානු ඩෙල්ටා ප්‍රභේදය ක්‍රමයෙන් කොළඹ, ගම්පහ, කළුතර යන ප්‍රදේශ ආක්‍රමණය කරමින් අද වන විට විශාල ප්‍රමාණයක ජනගහනයක් මෙහි ගොදුරු බවට පත්වී තිබේ. සෞඛ්‍ය අංශයන්ගේ දැඩි කැප කිරීම හා ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන්ගේ මහන්සියෙන් හා කැපකිරීමෙන් එන්නත් කරණ වැඩසටහන සාර්ථකව ඉදිරියට ඇදෙමින් පවතී. මෙම වැඩසටහන් ඉතා ඉක්මනින් ග්‍රාමීයව ක්‍රියාත්මක විය යුතු බව අවධාරණය කළ යුතුය. එන්නත් කරණ වැඩසටහන් එක් දිනක දී ලක්ෂ 4 ක ජනගහනයකට දීමේ ඉලක්කය ඉතා වැදගත් වන අතර ඒ තුළින් අපේක්ෂා කරන ඉලක්කයන් ඉතා කඩිනමින් ළඟා කර ගැනීමේ හැකියාව තිබේ.

ජනතාවගේ දැඩි කැපකිරීම

කෙසේ හෝ මේ වසර අග වන විට ජනගහනයෙන් 70%ක ට දෙවන එන්නත් මාත්‍රාව ද දී සති හතරක් ගත වුව හොත් ආරක්ෂාකාරීව රට නැවත පණ ගැන්විය හැකි බව පෙනේ. මේ වන විට ශ්‍රී ලංකාවේ මියගොස් ඇති අයවලුන්ගෙන් වැඩි ප්‍රමාණයක් එක් එන්නත් මාත්‍රාවක් හෝ නොගත් අය වීම කණගාටුවට කරුණකි. එය ප්‍රතිශතයක් ලෙස 91 කි. එන්නත් මාත්‍රා දෙකම ගත් අයවලුන්ගේ මිය යෑමේ ප්‍රතිශතය 1.1 කි. එසේම මෙයින් පැහැදිලි වන්නේ රෝගයෙන් වැළකීම සඳහා සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද දැඩි ලෙස අනුගමනය කළ යුතු වන අතර මිය යෑමෙන් බේරීම සඳහා එන්නත් මාත්‍රා දෙකම ගැනීම අනිවාර්ය වන බවය. මෙහි සාර්ථකත්වය රඳා පවතින්නේ ජනතාවගේ දැඩි කැපකිරීම මත බව පෙනේ. රට අගුළු දමා තිබිය දී ජනතාව තවදුරටත් වගකීම් විරහිතව කටයුතු කරන ආකාරය පෙනෙන අතර ආණ්ඩුවකට මෙය පාලනය කළ හැකි සීමාවන් ද පවතී. මෙයින් හැඟෙන්නේ අප රටේ ජනතාවගේ විනය පිළිබඳ පුළුල් ප්‍රශ්නයකි. තවදුරටත් මෙම වසංගතයෙන් බේරීමේ සරල ක්‍රමවේදය වන්නේ හැකි තරම් හුදකලා වීමය.

පසුගිය වසර එකහමාරක කාලය තුළ දී විටින් විට රට වැසීම හේතුවෙන් පීඩාවට පත් වූ ජනතාව වෙනුවෙන් රජය රුපියල් 5000 ක දීමනාව කීහිප වරක් දුන් අතර ඒ සඳහා රජයට රුපියල් බිලියන 50 කට වැඩි මුදලක් දැරීමට සිදු විණි. සමෘද්ධිලාභීන් මිලියන 1.8 ක ට අමතරව සංචාරක ක්ෂේත්‍රය තුළ නියැලෙන්නන්, ස්වයං රැකියාවල නියුතු අයවලුන්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්, එදිනෙදා ආදායම් උපයන්නන් ආදි විශාල පිරිසක් බොහෝ දුරට මිලියන 4.5 ක ට වඩා වැඩි ජනකොටසක් පීඩාවට පත් වී අන්ත අසරණ තත්ත්වයට පත් වී තිබේ. කෙසේ හෝ රජය මෙම කණ්ඩායම් ආරක්ෂා කර ගැනීම සඳහා ඔවුන්ගේ ජීවන තත්ත්වය නඟාසිටුවීම සඳහා හැකි පමණින් මැදිහත්වීම සිදු කළ අතර ණය වාරික අය කර ගැනීම කල් දැමීම, ලීසින් පහසුකම් සඳහා සහන කාල පරිච්ඡේදයක් දීම, නිවාස ණය අය කර ගැනීම නිදහස් කිරීම, පොලී කපා හැරීම යන විවිධ ක්‍රියාමාර්ග තුළින් ජනතාවට සහන දීමට උත්සාහ කර තිබේ.

රටේ එක් කණ්ඩායමක් රට වසා දැමීම කළ යුතු යැයි තර්ක කරන අතර තවත් කණ්ඩායමක් කියා සිටින්නේ රට වසා නොදමා සංචරණ සීමා දැඩි කිරීම තුළින් තවදුරටත් රටේ ආර්ථික ක්‍රියාකාරකම් පවත්වාගෙන යා යුතු බවයි. මේ වසරේ දී පමණක් රට දෙවතාවක් වසා දැමීම සිදු වී තිබේ.

දිනකට වන පාඩුව

මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පසුගියදා කියා සිටියේ එක් දිනක් රට වසා දැමීම තුළින් ආර්ථිකයට වන සෘජු පාඩුව රුපියල් මිලියන 1500 ක ට වඩා වැඩි බවයි. පසුගිය දා එක්තරා ස්වාධීන ආයතනයක් විසින් කරන ලද සමීක්ෂණයකට අනුව රට වැසීම හේතුවෙන් දිනකට වන පාඩුව අමෙරිකන් ඩොලර් මිලියන 112ක් වන අතර එය රුපියල් බිලියන 22 වන බව පෙන්වා දෙයි. දින දහයක් රට වසා දැමීමෙන් සිදු වන පාඩුව අමෙරිකන් ඩොලර් බිලියන 1.22ක් වන බවත් එය දළ දේශීය නිෂ්පාදනයේ අගයක් ලෙස සියයට 1.3ක අගයක් ගනියි. මෙයින් පෙනී යන්නේ රට ඉදිරියේ දී ඉතාමත් බැරෑරුම් ආර්ථික ආගාධයකට යා හැකි බවය. 2019 පාස්කු ප්‍රහාරයෙන් පසු ශ්‍රීලංකාවේ සංචාරක කර්මාන්තය බිඳ වැටී තිබූ අතර ඉන් පසු ක්‍රමයෙන් මෙම තත්ත්වය සාධනීය ලෙස වර්ධනය වෙමින් පැවතිණි. එවැනි වකවානුවක දී මෙම කොවිඩ් වසංගතය හේතුවෙන් සංචාරක කර්මාන්තය මුළුමනින්ම බිඳ වැටී ලක්ෂ 5 කට වැඩි රැකියා ප්‍රමාණයක් අහිමි වී මෙම කර්මාන්තයේ නියැලෙන්නන් විශාල ප්‍රමාණයක් අන්ත අසරණ තත්ත්වයට පත් වී තිබේ. මේ වන විට මෙයින් සිදු වූ හානිය අමෙරිකානු ඩොලර් බිලියන 15කට වැඩි අගයක් ගන්නා බව අනුමාන කළ හැකිය. කෙසේ හෝ විටින් විට ඇඟලුම් කර්මාන්ත ශාලා තුළ විවිධ ගැටලුකාරී තත්ත්වයන් මතු වුව ද අද වන විටත් ක්‍රියාකාරීව ඇඟලුම් කම්හල් ක්‍රියාත්මක වීමෙන් විශාල රැකියා ප්‍රමාණයක් ආරක්ෂා වී ඇති අතර 2021 දෙවන කාර්තුව වන විට ඇඟලුම් ඉපයීම්වලින් වන ආදායම අමෙරිකන් ඩොලර් බිලියන 2.4 දක්වා සියයට 28 කින් වර්ධනය වීම සාධනීය ප්‍රතිඵලයකි.

සංචරණ සීමා ක්‍රියාත්මක කිරීම

මේ වන විට රජය තීරණය කර ඇත්තේ දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක කරමින් ආර්ථිකය ක්‍රියාකාරී අංශයන් ආරක්ෂා කර ගනිමින් රට ඉදිරියට ගෙන යෑමයි. මේ තුළින් වැඩි දෙනකුගේ රැකීරක්ෂා ආරක්ෂා කර ගත හැකි වන අතර සමාජයේ පීඩාවට පත් වී ඇති ජන කොටසක් සඳහා කිසියම් ආදායම් ගලා යෑමක් අපේක්ෂා කළ හැකිය. මෙම කොවිඩ් වසංගත තත්ත්වයෙන් වුව ද ආර්ථිකයේ වර්ධන වේගය පළමු කාර්තුව වන විට 4.3% කින් වර්ධනය වීම යහපත් ප්‍රවණතාවයකි. ආර්ථිකයේ පළමු කාර්තුවේ මෙන්ම දෙවන කාර්තුවේ ද ආර්ථිකයේ බොහෝ අංශයන්වල කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබෙන අතර තවදුරටත් එය ආරක්ෂා කර ගනිමින් පවත්වාගෙන යෑම සිදු විය යුතුය.

මෙම වසංගත තත්ත්වයත් සමඟම ලොව අනෙකුත් රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ ද විවිධ ක්ෂේත්‍රයන්වල විවිධාකාරයෙන් අර්බුද මතු වෙමින් පවතී. වගකිව යුතු රජයක් වශයෙන් මෙම වසංගතය මර්දනය කිරීමට පියවර ගන්නා සේම රටේ උඩු දුවමින් පවතින ගැටලු හඳුනා ගැනීමත් ඒවා සඳහා විසඳුම් සෙවිය හැකි වන පරිදි ප්‍රමුඛතා හඳුනා ගැනීමත් සිදු කළ යුතුය. ප්‍රධාන වශයෙන් මේ අවස්ථාවේ දී හඳුනාගත හැක්කේ ශ්‍රී ලංකාව දරුණු ලෙස මුහුණ දෙමින් පවතින විදේශ විනිමය අර්බුදයට පිළියම් සෙවීමය. පසුගිය මාසයේ දී ශ්‍රී ලංකා රජය අමෙරිකානු ඩොලර් බිලියන 1 ක විදේශ ණය කෙසේ හෝ ගෙවා දැමීමට කටයුතු කිරීම තුළින් තවදුරටත් ණය ගෙවා දමන, ඒ සඳහා කැප කිරීමක් ඇති බව ණය දෙන රටවල් ආයතන අරමුදල් කළමනාකරුවන් සහ ආයෝජකයන්ට දී තිබුණේ යහපත් සංඥාවකි. කෙටි කාලීන වශයෙන් ණය අර්බුදයෙන් මිදීම සඳහා හුදු දේශමාමක ලේබලයෙන් මිදී අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් දෙන ලද අමෙරිකන් ඩොලර් මිලියන 787 ගැනීම කාලෝචිතය. කෙසේ හෝ ඉදිරි මාස කිහිපය තුළ දී විදේශ සංචිත ශක්තිමත් කිරීමේ ක්‍රමෝපායික සැලැස්ම ක්‍රියාත්මක කිරීම ආර්ථික වශයෙන් යහපත් වනු ඇත. එසේ නොවුණ හොත් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල අර්බුද ගණනාවක් ‍නිර්මාණය වීමට පසුබිම සකස් වනු ඇත.

ක්‍රමෝපායික සැලැස්මක්

මෙහිදී රට වසා දැමීම තුළින් කඩා වැටී ඇති සංචාරක කර්මාන්තය නැවත ලෝකය නව සාමාන්‍යකරණයට ලක් වූ වහාම ආරම්භ කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව ක්‍රමෝපායික සැලැස්මක් සකස් කළ යුතු වන අතර දේශීය සංචාරක කර්මාන්තය තුළින් සංචාරක කර්මාන්තය සඳහා නව ගැම්මක් ඇති කිරීම කළ හැක්කේ කෙසේ ද යන්න පිළිබඳව සලකා බැලීම් ඉතා වැදගත් වේ. විදේශ විනිමය, විදේශ ආදායම් කඩා වැටී ඇති මේ දරුණු කාල පරිච්ඡේදය තුළ දී තවදුරටත් රට වසා දැමීම තුළින් අපනයන ආදායම් කඩා වැටීමට කිසිදු අවස්ථාවක් නොදිය යුතුය. විශේෂයෙන් අපනයන ක්ෂේත්‍රයේ නියැළි ජනතාව ආරක්ෂා කර ගනිමින් කටයුතු කිරීම ඉතා වැදගත් වේ.

කොවිඩ් හතරවන රැල්ලේ ආරම්භය සනිටුහන් කරමින් මෙම වසංගතය පාලනය කිරීමට දුෂ්කර ආකාරයෙන් පැතිරී යමින් පවතී. විවිධ පාර්ශ්වයන්ගෙන් එල්ල වූ දැඩි පීඩනය හමුවේ විශේෂයෙන් සෞඛ්‍ය විශේෂඥ උපදෙස් පරිදි රට නැවතත් අගුළු දැමීමට සිදු විය. රට නැවතත් වසා දැමීම ඇති වී ඇති වසංගතය රැල්ල මර්දනයට රුකුලක් වුව ද ආපසු තවත් මෙවැනි රැලි කිහිපයක් ඇති විය නොහැකි යැයි කවරකුට වත් උපකල්පනය කළ නොහැකිය. මේ වන විට විශාල ප්‍රමාණයෙන් වසංගතයට ගොදුරු වූ අමෙරිකානු එක්සත් ජනපදය ඇතුළු බොහෝ රටවල් මෙන්ම චීනය ද ඉන්දියානු ඩෙල්ටා ප්‍රභේදය ට ගොදුරුවී මේ තර්ජනයට මුහුණ දෙමින් සිටියි. ඉන් පෙනී යන්නේ එන්නත්කරණය, සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම පිළිපැදීම්, නිරන්තරයෙන් පරීක්ෂණ සිදු කිරීම් මඟින් රෝගීන් හඳුනා ගැනීම, ප්‍රදේශ හුදකලා කර ගනිමින් තවදුරටත් රටවල් ඉදිරියට ගෙන යෑම සඳහා වෙනත් විකල්පයක් නැති බවය. කොවිඩ් රැලි එකිනෙක දිගින් දිගටම මතුවීම් තුළින් රටවල් ආර්ථික දේශපාලනික සහ සමාජයීය වශයෙන් පීඩාවට පත්වී ඇති අතර එහි සීමාවක් සොයා ගත නොහැකි වී තිබේ. එම නිසා සියලු පාර්ශ්වයන් පවත්නා තත්ත්වයන් වටහා ගත යුතුය.

ස්වයං රැකියාවල නියුතු ජනතාව, කුඩා ව්‍යාපාරවල නියුතු ජනතාවත්, එදිනෙදා ජීවිකාව උපයා ගන්නා අවිධිමත් රැකියාවල නියුතු ජනතාවත් ඔවුන්ගේ පවුල්වල ජීවිකාව ආරක්ෂා කර ගන්නේ කෙසේ ද යන්න පිළිබඳ පුළුල් ව සිතා බැලීම ඉතා වැදගත් වේ. මේ වන විට පීඩාවට පත් ජනතාව වෙනුවෙන් රුපියල් 2000 දීමනාවක් දීමට රජය තීරණය කර ඇති අතර ලැබිය යුතු ඉලක්කගත අත්‍යවශ්‍යම ජනතාවට පමණක් මෙය දීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතුය. අනවශ්‍ය අයවලුන් සඳහා මෙම දීමනාවන් දීමට සමහර දේශපාලනඥයන් මැදිහත්වීම් අවුල් සහගත තත්ත්වයක් නිර්මාණය කිරීමට හේතු වී තිබේ.

මෙම වසංගතය මර්දනය සඳහා විශේෂඥ වෛද්‍යවරුන්ගේ උපදේශයන් ඉතා වැදගත් වන අතර ඒ අනුව කටයුතු කිරීම සැමගේ වගකීම වේ. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙන්නේ රට වසා දැමීම මඟින් රෝග පාලනය හා මිය යන ප්‍රමාණය අවම කර ගත හැකි වන බවය. රට වසා දැමීම මඟින් ජනතාව ගැවසීම සීමා කිරීම් මඟින් රෝග පාලනය කළ හැකි වන බව සත්‍යයකි. එහෙත් රටේ ජනතාව මෙම සීමාවන් තුට්ටුවකටවත් මායිම් කරන බවක් දක්නට නැත. අවශ්‍ය කාරණාවලට පමණක් නිවෙසින් බැහැර විය යුතු යැයි සීමා කළ ද ඒවා මායිම් නොකරන බවක් පෙනේ. මෙයින් සිදු වන්නේ තවදුරටත් රෝගය පැතිරී මිනිසුන් මිය යෑමය. රට වැසුව ද, රට ඇරිය ද දෝෂාරෝපණය එන්නේ රජයටය. එය සමාජයේ හැටි ය. විශේෂඥ වෛද්‍යවරුන් විසින් පෙන්වා දෙනු ලබන්නේ එන්නත්කරණය මඟින් රෝගය වැලඳීම වළක්වාලිය නොහැකි මුත් රෝගය උත්සන්න වී මාරාන්තික තත්ත්වයට පත් වීම වළක්වා ගත හැකි බවය.

නව සාමාන්‍යකරණය

ලෝකයේ රටවල් මේ වන විට ආර්ථික ක්‍රියාකාරීත්වය ඇති කිරීම සඳහා නව සාමාන්‍යකරණය (New Normal) එනම් සියලු සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද භාවිත කරමින් ඉදිරි කටයුතු සිදු කර ගනියි. අද වන විට ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය පවා මුදල් සංසරණය පූර්ණ ඩිජිටල්කරණයට ලක් කොට ඇත. බැංකු මුදල් ගැනීමේදී ATM යන්ත්‍රයට රහස් අංකය ඇතුළත් කළ යුතු නැත. ජංගම දුරකථනය උපයෝගි කර ගනිමින් එය කළ හැකිය. නවීන තාක්ෂණය හා සමාජය ඩිජිටල්කරණය වීම තුළ විශේෂයෙන් ලෝකයේ රටවල් වියදම් සීමා කර ගෙන තිබේ. ඵලදායිතාව ඉහළ නංවා තිබේ. විශේෂයෙන් පරිපාලන වියදම් බොහෝ දුරට සීමා වී ඇත. මෙය යහපත් ප්‍රවණතාවකි. 

කෙසේ හෝ අපට තවදුරටත් සීමා කිරීම් තුළින් ඉදිරියට යා නොහැකිය. සංචාරක කර්මාන්තය, රටේ ආර්ථිකයට සියයට 50 කට වැඩි දායකත්වයක් සපයන කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත තුළින් රටේ ආර්ථිකයට වන දායකත්වය අහිමි වීම විශාල පාඩුවකි. එසේම විදේශ ආයෝජන ද පවතින්නේ ඉතාමත් අඩු මට්ටමක ය. මේ අවධියේ ලෝකයේ බොහෝ ආයෝජකයෝ ආයෝජනයන්ට දක්වන්නෙ මැලිකමකි. මෙවැනි පසුබිමක රටක් ආර්ථිකමය වශයෙන් ගොඩනැඟෙන්නේ කෙසේ ද? විශේෂයෙන් කුඩා ආර්ථිකයක් ඇති ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ජනයාට සහන දෙන්නේ කෙසේ ද? එය පොදු මහජනතාව කල්පනා කළ යුතු ප්‍රශ්නයකි. ජනතාව පැත්තෙන් ඉටු විය යුතු යුතුකම් ඉටු වන්නා සේම රජය පැත්තෙන් ද ඉටු විය යුතුකම් ඉටු කළ යුතුය. රජයක සාර්ථකභාවය තක්සේරු කළ හැක්කේ රජය මෙය කළමනාකරණය කරන්නේ කෙසේ ද යන්න මතය.

 553 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply