හොර PCR වාර්තා මගඩියක්!

ව්‍යාජ ලෙස සැකසූ ලිපි ශීර්ෂ යොදා ගනිමින් මෙරට තුළදී ව්‍යාජ PCR පරීක්ෂණ වාර්තා සකසන බවට කරුණු හෙළිවන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති හා වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ කැඳවුම්කරු රවි කුමුදේශ් පවසයි. 

මෙරටට වැඩි වශයෙන් සංචාරකයන් පැමිණෙන ඉන්දියාව, පාකිස්තානය වැනි රටවල්වල විදෙස් ගතවීම සඳහා ව්‍යාජ PCR වාර්තා සැකසීම, වසංගතයටත් වඩා වේගයෙන් පැතිරෙන කර්මාන්තයක් වී ඇතැයිද හෙතෙම පෙන්වා දෙයි.  වෙනත් රටක PCR වාර්තාවක් එලෙසින්ම පිළිගැනීම සියතින් ගෙල සිඳ ගැනීමක් මෙන්ම රට අමාරුවේ දැමීමක් බවද රවි කුමුදේශ් අවධාරණය කරයි. 

ගුවන් තොටුපළින්  මෙරටට ඇතුළුවන දෙස් – විදෙස් ගුවන් මගීන් PCR පරීක්ෂාවකට ලක් නොකරමින්, රටට ඇතුළු කිරීම කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති අවිචාරවත් තීන්දුවක් බවද ඔහු පවසයි.  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මෙම තීන්දුව ඔහු විසින් ගනු ලැබූවක්ද එසේත් නැත්නම් කිසිවකු විසින් හෝ ඔහුගේ බෙල්ලට පිහියක් තබා ගනු ලැබූවක්ද යන්න සැක සහිත නිසා රටම අවදානමේ හෙළමින් ගනු ලැබූ මෙම තීරණය සඳහා තාක්ෂණික උපදෙස් දුන් කණ්ඩායම රටට හෙළි කරන ලෙස තමන් කියා සිටින බවද හෙතෙම පවසයි. 

PCR පරීක්ෂාවක සංවේදීතාව 70%කට අඩු බවත්  දින දෙක තුනක ගුවන් කාලය යනු, ආසාදිත තත්ත්වය ඉතා පහසුවෙන් වෙනස් විය හැකි කාල පරාසයක් බවත් රවි කුමුදේශ් පවසයි.  එමෙන්ම ඉන්දියාව, පාකිස්තානය මෙන්ම ශ්‍රී ලංකාව තුළද ව්‍යාජ ලෙස සකස් කෙරෙන PCR පරීක්ෂණ වාර්තා ඇති බව ඉතා කුප්‍රකට රහසක් නිසා  එවැනි තත්ත්වයක් යටතේ වෙනත් රටක සිදු කළ PCR පරීක්ෂාවක් පිළිබඳව 100% විශ්වාස කරමින්, රටේ මහ ජනතාව අනතුරේ හෙළීම සඳහා සෞඛ්‍ය බලධාරීන්ගේ මාර්ගෝපදේශ යොදා ගනිමින් සිටින ආකාරය ඉතා ලජ්ජාසහගත බවද හෙතෙම අවධාරණය කරයි.

රෝගය වැලඳීම හෝ බෝවීම වළක්වන කිසිදු කොවිඩ් එන්නතක් මෙතෙක් සොයාගෙන නොමැති  තත්ත්වයක් යටතේ පූර්ණ එන්නත්කරණය කළ අය “කොවිඩ් නොමැති අය” ලෙස සලකා ගෙන ඇති මෙම තීරණය තුළ ඇත්තේ විශාල අමනෝඥ බවක් යැයි රවි කුමුදේශ් පවසයි. එන්නත නිපදවන ලද සමාගමකට පවා නොමැති විශ්වාසයක්, අපේ රටේ මාර්ගෝපදේශ හදන ඊනියා විශේෂඥයන්ට ලැබී ඇත්තේ කෙසේද යන්න ප්‍රහේලිකාවක් බවද ඔහු කියා සිටී.

එන්නත් නිපදවන  රටවල් ඇතුළු ලොව කිසිදු රටක් එන්නත පිළිබඳව මෙවන් විශ්වාසයක් තබා නොමැති පසුබිමක  වසංගතය පැතිරීම වළක්වා ගැනීමට නොහැකිව දීර්ඝ සංචරණ සීමා පැනවීමට සිදුවී ඇති රටක් ලෙස, සංචරණ සීමා යොදමින් සිටින අතරවාරයේදී මෙවන්  තීරණයක් ගැනීම රට බරපතළ අනතුරකට ලක් කිරීමක් විය හැකි බවට ඔහු අනතුරු අඟවයි.

 323 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply