වසර ගණනාවක් සිය ජීවිතයේ වැඩි කාලයක් දේශපාලනය වෙනුවෙන්ම ඇප කැප කළ  පාර්ලිමේන්තුව නියෝජනය කළ දේශපාලනඥයෝ කිහිප දෙනෙකු ම පසුගිය මහමැතිවරණයෙන් පරාජයට පත් වුණා. පරාජයට පත් වූවත් ඇතැමෙක් තවමත් දේශපාලන කටයුතු වල නිරත වෙනවා. ඒ වගේම තවත් කිහිපදෙනක් සියි ව්‍යාපාර කටයුතු ගැන වගේම  වත්පිටිවල රාජකාරිවල නිරත වෙලා ඉන්නවා. ඉතිං මේ විදිහට එක එක වැඩවල නිරත වෙලා මේ අය තමතමන්ගේ අලුත්ම කටයුතු ගැන සතිඅන්ත පුවත් පතකට කියලා තිබුණේ මෙන්න මේ විදිහට..

ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු එ.ජා.ප මන්ත්‍රී වජිර අබේවර්ධනය මහත්තයා කියලා තිබුණේ මෙන්න මෙහෙම කතාවක්..

 ‘‘මම තිස් අට අවුරුද්දක් එකදිගට දේශපාලනය කරපු කෙනෙක්… බිම් මට්ටමින් පටන් අරං ඉහළට ම ගියපු කෙනෙක්… ඇමැතිවරයෙක් හැටියටත් අවුරුදු 8 ක් වැඩ කළා… ඇත්තවශයෙන්ම මම දේශපාලනයේ ‘ෆුල්ටයිමර්‘ කෙනෙක්… කවදාවත් ‘බිස්නස්‘ කරලා නෑ… කරන්නෙත් නෑ…. ඉස්සරහටත් කරන්න ඉන්නෙ ‘දේශපාලනය‘ ම තමයි… මේ දවස් වලත් කරන්නෙ ඒකම යි….. ‘‘

මොනවද ඉතිං මේ දවස් වල කරන දේශපාලන වැඩ…?‘‘ කියලා ඇහුවම ඔහු දීලා තිබුණේ මෙන්න මේ වගේ පිළිතුරක්.

‘‘මහජනතාවගේ දුක්ගැනවිලි හොයා බලලා අදාළ තැන් වලට යොමු කරවන එක තමයි… මගේ ගාල්ල කාර්යාල දෙකම තාමත් ඇරලා… කොළඹ කාර්යාලයත් ඇරලා… මම පැරදුණා කියල නෑ, මිනිස්සු තම තමන්ගෙ ප්‍රශ්න කියාගෙන තාමත් මා ගාවට එනවා… තාමත් මං මහන්සි වෙන්නෙ, දුක කියාගෙන මගේ ළඟට එන හැම කෙනෙකුටම මොකක් හරි ගැළපෙන විසඳුමක් අරන් දෙන්න…‘‘

මහජනතාවගේ දුක්ගැනවිලිවලට ඇහුම්කන් දෙන ගමන්, පක්ෂෙ ප්‍රතිසංවිධාන වැඩ වලටත් කරගහන හින්දා, පාර්ලිමේන්තු නොගියත් ‘පවුලෙ අය‘ එක්ක ඉන්න වැඩි කාලයක් නැතුව ඇති…?‘‘ ඇසූ ප්‍රශ්නයට ඔහුපිළිතුරු දීලා තිබුණේ මෙහෙම.

‘‘පාර්ලිමේන්තු ගියා නොගියා, හැමදාමත් මම පවුල එක්ක හිටපු කෙනෙක්… දරුවො දෙන්නගෙන් එක්කෙනෙක් දැන් ඉංජිනේරුවෙක් විදියට වැඩ කරනවා… අනෙක් දරුවා තවමත් උසස් අධ්‍යාපනය ලබනවා… මගේ නෝනා හැමදාමත් වගේ දැනුත් මගේ දේශපාලන වැඩවලට උදව් කරනවා… ඒ හින්දා එදා වගේම අදත් මම හැමදාමත් ඉන්නෙ මගේ පවුලෙ අයත් එක්ක…‘‘ වජිර අබේවර්ධන කීවේ ය.

මේ අතර කළුතර දිස්ත්‍රික් හිටපු එ.ජා.ප. මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා අදහස් දක්වා තිබුණේ මෙන්න මේ විදිහට.

‘‘මේ දවස් වල මම මගේ මතුගම ඉඩමේ ‘අනෝදා‘ වවනවා… වත්ත සුද්ද කරගෙන, වලවල් කපාගෙන මහා ජරමරයක් තමයි කරන්නෙ… ඒ මදිවට, වැස්සෙනුත් මලවදේ…‘‘

‘‘ඔය කරන වගාවට අමතරව කරන අනෙක් වැඩ මොනව ද…?

‘‘ඇත්තම කිව්වොත්, විශාල වැඩක් කරනවා… ඒ තමයි, දේශපාලනය හින්දා අවුරුදු ගාණකට මඟඇරුණු මගේ නෝනා එක්ක ආපහු ප්‍රේම කරන එක… ඇත්තට ම මට මේ වෙලාවෙ මගේ ම නෝනා ව දැනෙන්නෙ හරි ආගන්තුක විදියට… අලුතින් ම ප්‍රේම සම්බන්ධය පටන්ගත්තා වගේ තමයි.

මේ අතර මෙවර මහ මැතිවරණයෙන් අම්පාරෙන් පරාජය ලබා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් නික්ම ගිය ශ්‍රියාණි විජේවික්‍රම කියලා තිබුණේ මෙන්න මේ වගේ කතාවක්..

‘‘අම්පාරේ මගේ නිවස තවමත්, අපේ ප්‍රදේශවාසීන් වෙනුවෙන් විවෘතව තියෙනවා… ඕන කෙනෙකුට ඇවිල්ලා මාව මුණගැහිලා කතා කරන්න පුළුවන්… ලංකාවේ දුෂ්කරම ප්‍රදේශයකින් පැවත එන කාන්තාවක් හැටියට, හැමදාමත් මම මගේ දේශපාලන කටයුතු කළේ ‘දහසක්‘ බාධක මැද්දේ… මේ පරාජය ‘අඩියක්‘ පස්සට යාමක් පමණයි… ඊළඟ වතාවේ ‘අඩි දෙකක්‘ ඉස්සරහට… දිගාමඩුල්ල ගැන මම හැමදාමත් දැකපු හීනයක් තිබුණා… ඒ හීනය හැබෑවෙන කල්, තවදුරටත් වැඩ කරනවා… ‘‘

‘‘දැන් දියණියගේ අධ්‍යාපන කටයුතු කොහොම ද…? වෙනදාට වඩා ඇයත් එක්ක ගත කරන්න ‘කාලය‘ ඇති නේ ද….?‘‘

‘‘දුව ලබන අවුරුද්දේ සාමාන්‍ය පෙළ ලියනවා… එයා කොහොමත් ස්වාධීනව වැඩ කරන දරුවෙක්… දැන් කියලත්, ඒ දරුවා වෙනුවෙන් මහා කාලයක් වැයවෙන්නෙ නෑ… මම හිතන්නෙ මට කවදාවත්, මම කරපු දේශපාලනික අරගලයෙන් ගැලවිල්ලක් ලැබෙන එකක් නෑ… ඒක මන්ත්‍රීකමක් තිබුණත්, නැතත් එහෙම ම තමයි… ‘‘ ශ්‍රියාණි අප සමග කීවේ, ‘අම්පාරේ අලි‘ එක්ක හැප්පුණු ‘ඇතින්නියක‘ ශක්තිය ප්‍රදර්ශනය කරමිනි.

හිටපු අමාත්‍ය ‘අජිත් පී. පෙරේරා’ මහතා අදහස් දක්වලා තිබුණේ මෙන් මේ විදිහට…

‘‘මම නං මේ දවස් වල කරන්නෙ, උසාවි යන එක… මම සාමාන්‍යයෙන් වැඩ කරන්නෙ, පානදුර මහාධිකරණයේ… ඊට අමතරව ලැබෙන ‘කේස්‘ අනුව, ලංකාවෙ ඕනෑම තැනකට යනවා…

‘‘එතකොට දේශපාලනය අතඇරිල ද…?

‘‘ දේශපාලනය නම් කවදාවත් අතඇරෙන එකක් නෑ… නමුත් මම මේ ආණ්ඩු කාලය ගත වන තුරු ‘නීතිඥ වෘත්තිය‘ තුළ වැඩියෙන් වැඩකරයි කියල හිතෙනවා… ‘‘

ජනතා විමුක්ති පෙරමුණේ, මන්ත්‍රීවරයෙකු ව සිටි වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා තිබුණේ මෙන්න මෙවන් අදහසක්…

‘‘මේ දවස් වල මොකද වෙන්නේ…?

‘‘අපි පැරදුණාට, ජනතාව මුහුණ දෙන ප්‍රශ්න පැරදිලා නෑනෙ… ඉතිං තවමත් අපේ දේශපාලන ගමන අවසන් වුණේ නෑ… පහුගිය මැතිවරණ පරාජයට හේතු තේරුම්ගැනීම සම්බන්ධයෙන් පක්ෂ අභ්‍යන්තරයේ තිබෙන සාකච්ඡාවලට සහභාගි වෙනවා… දේශපාලනය සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යාපනික හැදෑරීම් කරනවා… ඊට අමතරව මට භාර ව තියෙන කළුතර දිස්ත්‍රික්කයේ සංවිධානාත්මක කටයුතු කරනවා…‘‘

‘‘හිටපු අමාත්‍ය අජිත් පී. පෙරේරා නම් දැන් ‘උසාවි‘ යනවලු… වෛද්‍ය වෘත්තිකයෙකු වන ඔබත් ‘වෛද්‍ය වෘත්තියේ‘ වැඩ කරන්න පටන් ගත්ත ද…?

‘‘නැහැ… වෘත්තියක් හැටියට වෛද්‍ය උපදේශනය හරි, ප්‍රතිකාර කිරීම හරි කරන්නේ නෑ… මම හිතන්නෙ, මම දැන් දේශපාලකයෙක්… ඉදිරියටත් එහෙමම තමයි…‘‘

‘‘ඔබේ සහෝදර, හිටපු මන්ත්‍රී ‘හඳුන්නෙත්ති‘ නම්, මාතරට වෙලා ‘වඩේ විකුණනවා‘ කියලා ‘ෆේස් බුක් එකේ‘ ප්‍රචාරයක් යනවා…‘‘ ?

‘‘මමත් දැක්කා, ඔය කියන මඩ ප්‍රචාරය… හඳුන්නෙත්ති සහෝදරයා ඒකට උත්තරයකුත් දීලා තිබුණා, ‘ජනතාවට අයිති දේවල් මංකොල්ලා කනවට වඩා වඩේ විකුණන එක නම්බුකාරයි‘ කියලා… ඇත්තටම මම කළුතර දිස්ත්‍රික්කයේ සංවිධානාත්මක කටයුතු කරන ගමන්, ජාතික මට්ටමින් පක්ෂ දේශපාලනයේ කටයුතු කරනවා වගේ ම, හඳුන්නෙත්ති සහෝදරයා මාතර දිස්ත්‍රික් සංවිධානාත්මක කටයුතු කරන ගමන් ජාතික මට්ටමින් පක්ෂ දේශපාලනයේ කටයුතු වලටත් සහභාගි වෙනවා.

පැරදුණු මන්ත්‍රීවරයෙකුට‘ තිබුණු ලොකුම ප්‍රශ්නය ‘නිල නිවස‘ නැතිවීම ය. ඔහු අවංකව තමන් මුහුණ පා සිටින තත්ත්වය ගැන කියලා තිබුණේ ‘නම නොදමන‘ පොරොන්දුව පි‍ටයි

‘‘අපි දුර බැහැර අයනෙ… දැන් නිල නිවාසයත් නැති වුණ හින්දා ලොකු ප්‍රශ්නයක් වුණා… ගේ විතරක් යැ, යාන වාහනත් නැති වුණා නෙ… අන්තිමේදි කොළඹ ඉස්කෝල වල යන දරුවො දෙන්නව කොළඹ ම ‘බෝඩිං‘ කරලා මමයි නෝනයි ගමේ ගියා… දැන් තමයි, නිල නිවසේ තිබුණු බඩු ටික ටික ගමේ අරං යන්නෙත්… ලොරි හතර පහක බඩු තියෙනවා…‘‘

කෙසේ වෙතත්, මන්ත්‍රීකම් ඇමැතිකම් නොව ‘මොනකම්’ තිබුණත්, ඒවා සදාකාලික නොවන බැවින්, ජය පරාජය සමසිතින් විඳ දරාගැනීමට හුරුවීම කාගෙ කාගෙත් ‘ඇඟට ගුණ’ බව පැරදුණු මන්ත්‍රීන් කියන මේ කතාවලින් පැහැදිලි වන්නේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here