කෘත්‍රිමව ඇති කළ සහල් හිඟයෙන් ජනතාව පීඩාවට පත් වීම නිසා මිල පාලනය ඉවත් කළා!

සහල් මොල් හිමියන් වෙළෙඳපොළට සහල් තොග ලබා නොදීම නිසා ඇති වූ කෘත්‍රිම සහල් හිඟයෙන් ජනතාවට සිදුවන පීඩාවෙන් ඔවුන් මුදා ගැනීමේ අරමුණින් සහල් සඳහා පනවා තිබූ උපරිම තොග සහ සිල්ලර මිල ගණන් ඇතුළත් ගැසට් නිවේදනය වහාම අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

අමාත්‍ය මණ්ඩලය මෙම තීරණය ගත්තේ සත්භාවයෙන්ම පාරිභෝගිකයා සහ ගොවියා ආරක්ෂා කිරීමේ මූලික පරමාර්ථය ඇතිවය. නමුත් යම් පාර්ශ්වයක් සහල් මිල අසාධාරණ ලෙස වැඩි කිරීමට උත්සාහ කරන්නේ නම් පාරිභෝගිකයා ආරක්ෂා කිරීම වෙනුවෙන් මැදිහත් වන බවද ඇමැතිවරයා කීවේය.

ඒ අනුව සහල් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කර තිබෙන සහල් මිළ ගණන් කිසිසේත් සාධාරණය කළ නොහැකි බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

සහල් ආනයනය කළද ගොවීන්ගෙන් වී මිල දී ගැනීම සඳහා පනවා ඇති සහතික මිලෙහි කිසිඳු වෙනසක් නොවන බවත් කවුරුන් හෝ එම වී අඩු මිලකට මිලදී ගන්නට උත්සහ ගන්නේ නම් ඒ සියලූම වී රජය මිල දී ගැනීමට සූදානම් බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (28) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී රාජ්‍ය ඇමැතිවරයා කියා සිටියේය.

සුදු කැකුළු සහ රතු කැකළු කිලෝවක් රුපියල් 95කටද නාඩු කිලෝවක් රුපියල් 98කටද සම්බා කිලෝවක් රුපියල් 103කීරී සම්බා කිලෝවක් රුපියල් 125කටද උපරීම සිල්ලර මිලක් නියම කරමින් රජය ඉකුත් දා නිකුත් කළ ගැසට් නිවේදනයක් පාරිභෝගික සේවා අධිකාරිය අවලංගු කිරීමට පියවර ගත් බව අලගියවන්න මහතා ප්‍රකාශ කළේය.

රාජ්‍ය ඇමැතිවරයා වැඩි දුරටත් මෙසේද කියා සිටියේය.

පසුගිය කාලයේ රුපියල් 30-32 තිබුණු වීවලට ජනාධිපතිවරයා 55 ක සහතික මිලක් ලබාදෙන්න කටයුතු කළා. ගොවීන්ගේ මැසිවිල්ලක් තිබුණා වී අලෙවි කර ගන්න බැහැ කියලා. 2020 වසරේ දී ගොවීන්ගේ ආදායම ශක්තිමත් කිරීමට සහල් ගෙන්නුවේ නැහැ. ඒ අනුව රටේ සහල් අවශ්‍යතාව වසරක මෙට්‍රික් ටොන් ලක්ෂ 24යි. මාසික මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක අවශ්‍යතාවයක් තිබෙනවා. ඒ අනුව මෙට්‍රික් ටොන් ලක්ෂයක පමණ ප්‍රමාණයක් තමයි ආනයනය කරන්න රජය තීරණය කර තිබෙන්නේ. විශේෂයෙන්ම සතොස සහ සමූපකාර ඇතුළු තොග වෙළෙඳාම් හරහා මෙවා බෙදා දීමටයි කටයුතු යොදා තිබෙන්නේ. මේ ක්‍රියාවෙන් ගොවි ජනතාවත් ආරක්ෂා වෙනවා. පාරිභෝගිකයාත් ආරක්ෂා වෙනවා.

 427 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply