වෙළඳපොලේ සහල් මිල ඉහළ යන්න දෙන්නේ නැ!

සහල් සම්බන්‍ධයෙන් රජය ගනු ලැබූ තීරණය හේතුවෙන් මේ රටේ පාරිභෝගික ජනතාව අපහසුතාවයට පත්වන ආකාරයට වෙළඳපොලේ සහල් මිල ඉහළයාමට කිසිසේත්ම ඉඩ තබන්නේ නැතැයි  ප්‍රධාන පෙලේ සහල් මෝල් හිමියෝ කියා සිටිති.

රජය සහල්  සම්බන්‍ධයෙන් පනවා තිබූ පාලන මිල ඉවත් කිරීම නිසා වෙළඳපොලේ සහල් මිලෙහි විශාල වැඩිවීමක් වනු ඇතැයි ජනතාව අනවශ්‍ය බියක් ඇතිකර ගතයුතු නැතැයි එම සහල් මෝල් හිමියෝ පොලොන්නරුවේදී මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියහ.  

ඒ අනුව නාඩු වර්ගයේ සහල් කිලෝවක තොග මිල රුපියල් 110ක්,සම්බා සහල් කිලෝවක් මිල රුපියල් 140ක්,කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 165ක් නියම කරන අතර එයට සාපේක්‍ෂව එම සහල් වර්ග සඳහා සිල්ලර මිල කිලෝවකට රුපියල් 05ක් පමණක් එක්වනු ඇති බවද එම සහල් මෝල් හිමියෝ  පෙන්වාදෙති.

වෙළඳපොල සහල් නිකුත් කිරීමේදී එම සහල් නිෂ්පාදන ඇසුරුම්වල සිල්ලර මිල සඳහන් ස්ටිකරයක් අලවන බවත් ඒ මිලට වඩා වැඩි මිලක් කිසිවෙකුත් ගෙවියයුතු නැති බවද එම මාධ්‍ය හමුවේදී සහල් නිශ්පාදකයින් ප්‍රකාශ කළහ.

ඉදිරියේදී ගොවි ජනතාවගේ වී වලට මිල තීරණය වන්නේ මේ සහල් මිලට අනුව බවත් එය ගොවියාත්,පාරිභෝගිකයාත් සහල් නිෂ්පාදකයාත් සුරක්‍ෂිතවන වැඩපිළිවෙලක් බවද සඳහන් කළහ.

එහිදී අදහස් දැක්වූ මෙරට ප්‍රධාන පෙලේ සහල් නිෂ්පාදකයෙකු වන අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා

“සහල් සහ වී සම්බන්‍ධයෙන් මේ රටේ ගොවි ජනතාවත් පාරිභෝගිකයිනුත් ඒ අතර මැද සින අපිවත් ආරක්‍ෂාවන ආකාරයේ යෝජනා කිහිපයක් මීට පෙර අවස්ථා කිහිපයකදීම  අපි රජයට  ඉදිරිපත් කලා.රජය ඒ තත්වය තේරුම්ගෙන ගනු ලැබූ තීරණයක් මෙය.  මේ පිළිබඳව යම් යම් පාර්ශව විවිධ කතා කොහොම කිව්වත් රජය ගත් ඒ තීන්දුවට රටේ වගකිවයුතු ව්‍යාපාරිකයන් වශයෙන් මේ රටේ වගකිවයුතු ව්‍යාපාරිකයන් හා සහල් නිෂ්පාදකයන් හැටියට අපි අපේ ප්‍රසංශාව පිරිනමන්න ඕන. ෟ

රජය ගත්තු ඒ වැඩපිළිවෙල ශක්තියක් වෙලා පාරිභෝගික ජනතාවටත් ගොවි ජනතාවටත් අසාධාරණයක් නොවන විදියට වී මිලත් සහල් මිලත් පිළිබඳව අපි එකට එකතුවෙලා සාකච්ජා කරලා අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කරනවා.ප්‍රධාන සහල් නිෂ්පාදකයෝ හැටියට අපේ සහල් නිෂ්පාදන වෙළඳපොලට නිකුත් කරන්නේ එහි මිල සඳහන් ස්ටිකරයක් සහල් ඇසුරුමේ අලවලා. එහි සඳහන් මිලට වඩා වැඩි මිලක් කිසිම කෙනෙක් ගෙවියයුතු නෑ.අපි කියන්නට ඕන වී ගොවියාත්, පාරිභෝගිකයාත් ශක්තිමත් වන ආකාරයට ඉදිරියට කටයුතු කරනවා.

මේ අනුව නාඩු කිලෙව්වක සිල්ලර මිල රුපියල් 115ක් සම්බා සහල් කිලෝවක් රුපියල් 140ක් කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 165ක් වහයෙන් මිල නියම කර තිබෙනවා.මේ සහල් වර්ගවල මිල කිසිසේත්ම මීට වඩා වැඩිවෙන්නේ නෑ. අපි ඒ බව ඉතාමත් වගකීමකින් කියනවා.”

කෘතිම සහල් හිඟයක් ඇතිකරවන බවට පසුගිය දිනවල රජය පැත්තෙන් ප්‍රකාශවීම සම්බන්‍ධයෙන් එහිදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් සිරිසේන මහතා  අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස්වරයා සහල් මෝල් වලට පැමිණ සහල් තොග රජයට පවරා ගැනීමෙන් පසු සහල් නිෂ්පාදනයේ අඩුවීමක් ඇතිවූ බව කීය. එයට හේතුව ගොවීන් තමන් සතු වී තොග ඒ අවස්ථාවේ  පැවැති අඩුමිලට අලෙවි කිරීමට අකමැතිවීම යැයිද ඒ මහතා කීවේය.

නිව් රත්න සහල් ව්‍යාපාරයේ අධිපති මිත්‍රපාල ලංකේෂ්වර මහතාද මෙහිදී අදහස් දැක්වීය.

ප්‍රධාන පෙලේ සහල් නිෂ්පාදකයින් වන ගාමිණි ලත්පඳුර, ආනන්ද හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුලු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

උපුටා ගැනීම : www.lankadeepa.lk

 367 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply