අවුරුදු 12-19 අතර සියලු දරුවන්ට ඔක්තෝබර් මාසය තුළ එන්නත!

වයස අවුරුදු 12ත් 19ත් අතර දරුවන් සඳහා වන එන්නත්කරණ වැඩපිළිවෙළ ඔක්තෝබර් මාසය ඇතුළත අවසන් කරන බව සෞඛ්‍ය ඇමැති, ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසුවේය.

සංකූලතා පවතින දරුවන් 35,000ක් පමණ රට තුළ සිටින අතර, ඔවුන්ට අවශ්‍ය වනුයේ ෆයිසර් එන්නත් මාත්‍රා 70,000ක් වුවත් මේ වන විට මාත්‍රා 100,000ක් වෙන් කර තිබේ.

ළමුන් සඳහා වන එන්නත්කරණ වැඩපිළිවෙළ ඊයේ (24) නිල වශයෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේදී ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය ඇමැතිවරයා මේ බව කීය. ශිරන්ති රාජපක්ෂ මහත්මිය ද මේ අවස්ථාවට එක්ව සිටියාය.

කායික හා මානසික සංකූලතා සහිත දරුවන්ට මේ එන්නත මූලිකව දීම කරන අතර, තැලසීමියා රෝගයට ලක්ව ඇට මිදුළු බද්ධ සැත්කමක් කර ඇති 14 හැවිරිදි හුණුපොළ, පහලගම ප්‍රදේශයේ පදිංචි දැරියකට පළමුව එන්නත දීම සිදු කෙරිණ.

මීට සමගාමීව අනුරාධපුර හා කුරුණෑගල රෝහල්වලදී ද දරුවන් සඳහා වන එන්නත්කරණ වැඩපිළිවෙළ ඊයේ (24) ආරම්භ කෙරිණි.

විශේෂඥ වෛද්‍යවරයකුගේ අධීක්ෂණය යටතේ මූලික රෝහලකින් ඉහළ රෝහලක් තුළදී මේ එන්නත්කරණය සිදු කරයි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍ය අංශය ඇතුළු එහි සියලු ක්ෂේත්‍ර හා අධ්‍යාපන ක්ෂේත්‍රය සමඟ මේ වැඩපිළිවෙළ පිළිබඳ දීර්ඝව සාකච්ඡා කළ බවත් එහිදී ගනු ලැබූ තීන්දු තීරණ ඔස්සේ ළමුන් සඳහා එන්නත්කරණ වැඩපිළිවෙළ ආරම්භ කළ බවත් සෞඛ්‍ය ඇමැතිවරයා පැවසුවේය.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත මේ පිළිබඳ දැඩි අවධානය යොමු කළ බවත් ගත යුතු ක්‍රියාමාර්ග හා නිර්නායක පිළිබඳ දැඩිව සාකච්ඡාවට ලක් කළ බවත් ඇමැතිවරයා කීය.

වෛද්‍ය අංශයේ නිර්දේශ මත විවිධ සංකූලතා සහිත දරුවන් සුපරික්ෂාවට ලක් කරමින් ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමේ අරමුණින් එම දරුවන් සඳහා මූලිකව එන්නත්කරණය කරන බවද ඇමැතිවරයා කියා සිටියේය.

මේ වැඩපිළිවෙළ අනුව මූලිකව සුදුසුකම් ලත් දරුවන්ට වෛද්‍ය උපදෙස් අනුව ගන්නා වූ තීරණ ඔස්සේ එන්නත්කරණය කරන බවත් එහි විද්‍යාත්මක පදනම තුළ සිට වෛද්‍ය හා සෞඛ්‍ය අංශය විශ්ලේෂණාත්මක කටයුතු කරන බවත් ඇමැතිවරයා කීය.

එළැඹෙන සඳුදා (27) සිට කොළඹ දිස්ත්‍රික්කයේ අනෙකුත් රෝහල්වලදී ද මේ වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇත.

මේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය මේජර් ජනරාල් සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහත්වරු ද සහභාගි වූහ.

 529 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply