රසායනික පොහොර තහනමට ගත් පියවර තිරසර සංවර්ධන රාජ්‍ය ප්‍රතිපත්තියේ වැදගත් සන්ධිස්ථානයක්!

ජනතාවගේ සෞඛ්‍යයට සහ පරිසරයට අයහපත් බලපෑම් එල්ල කරන රසායනික පොහොර, කෘමිනාශක සහ වල්නාශක තහනම් කිරීමට තම ආණ්ඩුව මෑතකදී ගත් පියවර තිරසර සංවර්ධනය පිළිබඳ වූ රාජ්‍ය ප්‍රතිපත්තියේ වැදගත් සන්ධිස්ථානයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

ගෝලීය ආහාර පද්ධති වඩාත් තිරසර පරිවර්තනයකට ලක් කිරීම ඉතා වැදගත් අතර, ඒ සඳහා සියලු පාර්ශ්වකරුවන් එක්ව කටයුතු කළ යුතු බවත් ජනාධිපති රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ ආහාර පද්ධති සමුළුව මාර්ගගතව පෙරේදා (23) අමතමින් අවධාරණය කළේය.

කොවිඩ් වසංගතය ගෝලීය ආහාර සුරක්ෂිතතාවයේ පැවති දුර්වලතා පෙන්නුම් කළ අවස්ථාවක් බවත්, දේශගුණික විපර්යාසයන් සමඟ මේ තත්ත්වය තවත් අයහපත් අතට හැරෙනු ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වැනි සැසිවාරයට සමගාමීව පෙරේදා (23) නිව්යෝර්ක් නුවරදී එක්සත් ජාතීන්ගේ ආහාර පද්ධති සමුළුව ආරම්භ කෙරිණි.

‘‘අපට අවශ්‍ය අනාගතය සඳහා වූ පියවර වේගවත් කිරීම” යන තේමාව යටතේ සංවිධාන කර තිබූ සමුළුවේ ප්‍රධාන දේශනය එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මහතා විසින් සිදු කරනු ලැබීය.තිරසර ආහාර පද්ධති යනු ශ්‍රී ලංකාවේ සාරවත් සමාජ සංස්කෘතික හා ආර්ථික උරුමයේ කොටසක් බවත් ජනාධිපතිවරයා පැවසීය.

දීර්ඝකාලීනව රසායනික පොහොරවලට හුරු වූ ගොවීන්ගේ ආකල්පමය වෙනසක් ඇති කිරීම දුෂ්කර වන අතර, කාබනික පොහොර ප්‍රමාණවත් පරිදි දේශීයව නිෂ්පාදනය කිරීමද අභියෝගයක් බවත් මේ සඳහා තාක්ෂණික සහ ද්විපාර්ශ්වික සහයෝගීතාව ශ්‍රී ලංකාව සාදරයෙන් පිළිගන්නා බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

කාබනික කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේදී ග්‍රාමීය දරිද්‍රතාව අවම වන අයුරින් වෙළෙඳපොළ ඉලක්ක කර ගත් ආහාර දාමයන් වැඩි දියුණු කිරීම අත්‍යවශ්‍ය බව පැවසූ රාජපක්ෂ මහතා ඒ තුළින් ශ්‍රී ලංකාවේ ආහාර පද්ධතිය තිරසර ලෙස පරිවර්තනය කිරීමට සහ වඩා හොඳ ආහාර සුරක්ෂිතතාවක් ඇති කර ගැනීමට හැකි වනු ඇති බව විශ්වාසය පළ කළේය.

ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ ලෝක ආහාර වැඩසටහන ශ්‍රී ලංකාවට දෙන තාක්ෂණික සහාය අගය කළ ජනාධිපතිවරයා අනෙකුත් ගෝලීය සංවිධාන සහ විද්‍යාත්මක ආයතනවලින් ලැබෙන සහායට ද සිය ස්තූතිය පිරිනැමීය.

තම රටවැසි ජනතාවට සහ පෘථිවියට යහපත් අනාගතයක් සහතික කිරීම සියලු රාජ්‍ය නායකයන්ගේ අරමුණ විය යුතු අතර, එහිදී මුහුණ දීමට වන ගෝලීය අභියෝගවලට විසඳුම් සෙවීමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

මිනිසාගේ මෙන්ම පෘථිවියේ සෞඛ්‍ය යහපත් ලෙස පෝෂණය කළ හැකි පරිදි ගෝලීය ආහාර පද්ධති පරිවර්තනය කිරීමට එක්සත් ජාතීන්ගේ ආහාර පද්ධති සමුළුව මඟ සලසනු ඇති බවටද ජනාධිපතිවරයා විසින් විශ්වාසය පළ කරනු ලැබිණ.

 364 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply