”සුබෝධනී වාර්තාවේ යෝජනා ඉටු කරන්න බෑ” – ලැබුණු 5000 අරන් සේවයට එන්න!

සුබෝධනී කමිටු වාර්තාවෙහි සඳහන් පරිදි ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට වැටුප් වැඩි කිරීම් සිදු කළ නොහැකි බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ, ඉදිරි අයවැය ලේඛනයෙන් ගුරු විදුහල්පති වැටුප් සම්බන්ධ තීරණ නිකුත් කරන තුරු ලැබී ඇති රු. 5000 දීමනාව ලබාගෙන යළි සේවයට වාර්තා කළහොත් ගුරු විදුහල්පතිවරුන්ට නිසැක ගෞරවයක් හිමි වනු ඇති බවය.

‘කොවිඩ් උවදුර සමනය වීමෙන් පසු පාසල් යළි විවෘත කිරීම’ පිළිබඳ අධ්‍යාපන අමාත්‍යංශය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී ඔහු මේ පිළිබඳව සඳහන් කළේය.

“අයවැය එන තුරු මේ දීලා තියෙන සාධනීය විසඳුම, ඒ කියන්නේ වැටුප් හා සංඛ්‍යා ලේඛන කොමිෂන් සභාවෙන් දීපු නිර්දේශ තමයි අ.පො.ස. උසස් පෙළ කෙනාට දීලා තිබුණේ රු. 2660ක 15%ක වැටුප් වැඩිවීමක්. මේකෙ විදුහල්පතිවරයාට දිලා තිබුණේ එක ශ්‍රේණියට 18%ක් ඒ කියන්නේ රු. 8900 ගණනක වැටුප් වැඩිවීමක්. ඒ සමස්ත බිල බිලියන 8.92ක්. නමුත් මේ 2018 යෝජනාව පදනම් කරගෙන අමාත්‍ය අනුකමිටුව ගෞරව කරලා තියෙනවා එහි මිල රු. බිලියන 33යි. වැටුප් හා සේවක සංඛ්‍යාවේ නිර්දේශ කරලා තියෙන්නේ බිලියන 8.92ක් තියෙද්දී ඔබ සියලු දෙනාට ඇහුම්කන් දීලා මේ අමාත්‍ය අනුකමිටුව ක්ෂණික පියවරක් ගෙන තියෙනවා රු. බිලියන 33ක බිලකට නිර්දේශයක් කරන්න කැබිනට් මණ්ඩලය එඩිතර වෙලා තියෙනවා. ඒක හොඳ දෙයක්. මේක පහදලා දෙන්න ඔබේ කණ්ඩායම්වලට. ඒක තමයි මට කියන්න පුළුවන් මගේ දැනීමේ හැටියට. මේක තමයි වර්ජනයක් කරලා ජයග්‍රහණය කරලා ඔබේ ප්‍රජාවට ගිහින් ඉදිරිපත් කරන්න. මා නම් කරන්නේ ඒකයි.”

එහිදී අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙවැනි අදහසකි. 

“මේක හාස්‍යයකට ලක්කරන්න එපා මං මෙහෙම කිව්වාට. මොක ද ඔබලා ඉල්ලන ඒ අමාත්‍යංශයේ සුබෝධනී කියන නමින් පටබැඳුණු එක, ඒකෙ ගණන රු. බිලියන 70වයි. ඒකෙ කරන්න බෑ කිසිසේත්. බිලියන ගාණ නෙවෙයි තියෙන්නේ ඒකෙ, වෙනත් දේවල් තියෙන්නේ. ඒ කියන්නේ අද ගුරු, විදුහල්පති අධ්‍යාපනඥ, අධ්‍යාපන පරිපාලන සේවා සියලු දෙනාට. රු. 914,000ක් වෙනවා අධ්‍යාපන පරිපාලන සේවා එකේ කෙනාට. විදුහල්පති හෝ ගුරුවරයාට ලැබෙන්නේ පන්ලක්ෂ තිස්නවදාස් ගණනක්. මේක 914,000ට කියලා හැම දෙනාට සම කරන්න ඕන. ඊට අමතරව තියෙන්නේ රජයේ SL 1 වැටුප. මෙන්න මේකට ගේන්නේ කොහොම ද කියන එක? ගාණටත් වැඩිය ගැටලුව රජයේ සමස්ත වැටුප් තල අන්න එතන පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා කියන එක තමයි වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂමෙන් කියලා තියෙන්නේ. ඒක මටත් වැටහෙනවා. ඔබලාටත් වැටහෙනවා. අන්න ඒ නිසා තමයි ඒක කරන්න බැරි. ඒක කතා කරලාත් වැඩක් නෑ. මා දැනුත් කියන්නේ ඔබට ලොකු ජයග්‍රහණයක් ලැබිලා තියෙන්නේ. ඒක පිළිබඳ විශ්වාසයක් තබමු. එතෙක් ඔබට තාවකාලිකව ආවොත් රටේ සමස්ත ගෞරවය අනිවාර්යයෙන් ම ගුරුවරයාට විදුහල්පතිවරයාට ලැබෙනවා.”

 666 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply