ඇඟට ගිනි ඇවිළුණු බිරියට රෙද්දක් පොරවා නිදාගෙන සැමියා උදේ වැඩටත් ගිහින්!

කුප්පි ලාම්පුවෙන් සිය බිරියගේ ඇඳිවතට ඇවිළී තිබූ ගින්න සැමියා විසින් නිවා දමනු ලැබ ඇඳේ සිටි ඇය රෙද්දකින් පොරවා නිදාගෙන පසුදා කුලී වැඩකට ගොස් පැමිණ පරීක්ෂා කිරීමේදී පිලිස්සී මියගොස් සිටි ඇයගේ සිරුර පෙරේදා (19දා) හමුවූ බව කෑගල්ල පොලිසිය කියයි.

මෙලෙස පිලිස්සී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කෑගල්ල පොලිස් වසමේ පදිංචිව සිටි 70 හැවිරිදි කාන්තාවක බව පොලිසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය කියා සිටියේ මෙම කාන්තාව විවාහ වී නොමැතිව ජීවත් වෙමින් සිට ඇති බවය. මෙම කාන්තාවගේ බාල සහෝදරිය විවාහ වී සැමියා, දරුවන් තිදෙනා සමඟ ජීවත්වෙමින් සිටියදී හදිසියේම ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් මීට වසර 26කට පමණ ඉහතදී මියගොස් ඇති බව පොලිසිය කියයි.

පසුව බාල සහෝදරිය මිය යෑමෙන් අනතුරුව දරුවන් තිදෙනා විවාහ වී ලැයිම් කාමරවල පදිංචියට ගොස් ඇති බවත් පොලිසිය කියයි. බාල සහෝදරියගේ සැමියා තනිවම දිවි ගෙවමින් සිටින අවස්ථාවේදී මෙම අවිවාහක කාන්තාව ඔහුගේ ලැයිම් කාමරයට ගොස් කුලී වැඩ කරමින් ජීවත් වෙමින් සිට ඇති බව පොලිසිය කියයි. ඉකුත් 18දා සවස කාන්තාව උයා පිහා පසුව රාත්‍රි 08.00ට පමණ ඇය කුප්පි ලාම්පුවෙන් ඇඳ සිටි ඇඳුමට ගිනි ඇවිළී අල්ලපු කාමරයේ ආගමික වතාවත්වල නියැළී සිටි සැමියා අසලට දිවගොස් ඇති බව පොලිසිය කියයි. පසුව සැමියා ඇඳුම්වලට ගිනි ගනිමින් සිටි බිරියගේ ගින්න නිවා දමා උස්සාගෙන ගොස් ඇගේ ඇඳ මත තබා රෙද්දකින් පොරවා ඔහුද නින්දට ගොස් ඇති බව පොලිසිය කියයි.

පෙරේදා (19දා) අලුයම අවදි වූ සැමියා බිරියගේ කාමරයට ගොස් බලා ඇය තවමත් නිදි යැයි සිතා කරඬුපන ප්‍රදේශයේ කුලී වැඩකට ගොස් ඇති බවත් පොලිසිය කියයි. දහවල් 1.30ට පමණ ආපසු නිවෙසට පැමිණ ඇති සැමියා තවමත් බිරිය නැඟිටින්නේ නැත්තේ මන්දැයි සිතා කාමරයට ගොස් බලා අසල්වැසි කිහිපදෙනකුට සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ කර ඇති බව පොලිසිය කියයි. පසුව අසල්වාසීන් කිහිපදෙනකු පැමිණ බලා 1990 හදිසි දුරකථන අංකයට කතාකොට දැන්වීමෙන් පසුව 1990 ගිලන් රථය කාන්තාව රැගෙන ඒමට කරඬුපන වත්තට ගොස් ඇති බව පොලිසිය කියයි. ගිලන් රථයේ සිටි සේවකයා පරීක්ෂා කර බලන අවස්ථාවේදී කාන්තාව මියගොස් සිටි බවත් පසුව ගිලන් රථ සේවකයා විසින් කෑගල්ල මූලස්ථාන පොලිසියට දන්වා තිබුණු බවත් පොලිසිය කියයි.

පසුව කෑගල්ල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් කුලතුංග මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අමිල බණ්ඩාර, කෑගල්ල කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ (සො.කො.) පොලිස් පරීක්ෂකවරුන් වන මලන්දෙනිය, ජයසේකර, පොලිස් සැරයන් සිරිමාන්න (32928) යන නිලධාරීන් අදාළ නිවෙසට ගොස් මූලික විමර්ශන කටයුතු කර කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කෙරිණි.

පසුව කෑගල්ල වැඩ බලන මහෙස්ත්‍රාත් මැල්කම් මචාඩෝ මහතා සිද්ධිය වූ නිවෙසට ගොස් මූලික විමර්ශන කටයුතු කර දේහය කෑගල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය සමන්ත විජේරත්න මහතා වෙත ඉදිරිපත්කර පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා අදාළ වාර්තා සමඟ ගෙහිමියා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝග කෙරිණි. පසුව දේහය කෑගල්ල මහ රෝහලට රැගෙන ආ අතර පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (20දා) කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේදී පැවැත්වීමට නියමිතව තිබිණි.

වැඩිදුරටත් පොලිසිය කියා සිටියේ කරන ලද විමර්ශන කටයුතුවලදී අනාවරණය වී ඇත්තේ දෙදෙනා අතර බහින්බස් වීමක් සිදුව නොමැති බවත් එසේ සිදුවූවා නම් නිවෙසේ බඩුමූට්ටු පවා පොඩිපට්ටම් විය හැකි බවත්ය. එවැනි කිසිදු දෙයක් සිදුව නොමැති බවත් කුප්පි ලාම්පුවෙන් ගිනි ඇවිළෙන්නට ඇති බවත් පොලිසිය කියයි.

 802 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply