මැලේසියාවේ ගිය චතුරිකා මැරුණාද මැරුවාද ?

“මගේ දුවගේ මිනිය ගෙනැත් දෙන්න ලක්ෂ තුනහමාරක් ඉල්ලනවා. අපි හරිම දුප්පත් මිනිස්සු. අපි කොහොමද මේ තරම් ලොකු මුදලක් හොයාගන්නේ. දුව නැතිවුණු බව ආරංචිවෙලා දැන් මාසයක් වෙනවා. ඒත් මගේ දුවගේ මිනිය ගෙන්න ගන්න විදියක් නෑ. දුවගේ දරුවෝ දෙන්න දවස ගානේ බලාගෙන හිටියේ අම්මාගේ මූණ දැකගන්න. ඒත් දරුවෝ දෙන්නට අම්මාගේ මිනියවත් දැකගන්න විදියක් නෑ.”

ඒ තම දියණියගේ නිසල දේහය දැකගැනීමට පුරා මාසයක් තිස්සේ මඟ බලා සිටින අසරණ මවක් සංවේදීව කතා කළ මොහොතයි. තම දියණිය සැබෑ ලෙසම දිවි අහිමි කර ගත්තේද, නැතිනම් ඇය ඝාතනය කළේද? දියණියගේ දේහය කොහිද? ඇඟ ලේ කිරිකර පොවා ඇතිදැඩි කළ දියණියගේ නිසල දේහය හෝ දැකගැනීමට හැකිවේද? යන ගැටලු ඇගේ සිතේ වේදනාවන් අතර නිරතුරුම සක්මන් කරමින් පැවැතිණි. පසුගිය අගෝස්තු 24 වැනි දින රාත්‍රියේ මැලේසියාවේදී ගෙල වැලලාගෙන සියදිවි හානි කරගත් බව කියන බේරුවල, ගල්හේන ප්‍රදේශයේ පදිංචිව සිටි ටී. චතුරිකා ප්‍රියදර්ශනී සිල්වාගේ මව වන චන්ද්‍රානි ප්‍රියලතා මහත්මිය හඬා වැලපෙන අතරතුර නැවත නැවතත් පවසා සිටියේ තම දියණියගේ මරණය සැකසහිත බවයි.

“දුව මැරුණා කියන දවසේ උදෙත් දවාලෙත් කතා කළා. පොඩි දෙන්න එක්ක විහිළුත් කරලා හිනාවුණා. ඊට පස්සේ කතා කළේ නැති නිසා මම දුව රැකියාව කරපු ක්ලීනින් සර්විස් එකේ අයිතිකාරයා කියලා දුව හ¾දුන්වලාදීලා තිබුණු ලහිරු පුතාට කතා කරලා විස්තර ඇහුවා. ටික වේලාවකට පස්සේ මට ලහිරු පුතා කතා කරලා කිව්වා චතුරි නැතිවෙලා කියලා. උදේ කතා කරපු මගේ දුව රෑ නැතිවෙලා කිව්වම මම කොහොමද විශ්වාස කරන්නේ. මගේ දුවට බෙල්ලේ වැලදාගෙන මැරෙන්න තරම් ප්‍රශ්නයක් තිබුණේ නැහැ”

  මවුපියන් සමඟ වාසය කළ චතුරිකා වයස අවුරුදු 32ක් වන රූමත් තැනැත්තියකි. එමෙන්ම ඇය වයස අවුරුදු 13ක නව යොවුන් දියණියකගේ සහ අවුරුදු 10ක පුංචි පුතකුගේ ආදරණීය මවකි. චතුරිකා වසර ගණනාවක් පුරා මෙරට රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ රැකියාවක නිරත වූ අතර නිරතුරුව අත්විඳින ආර්ථික අගහිඟකම් මඟහරවා ගැනීමේ අදහසින් ඇය එම ක්ෂේත්‍රයේම රැකියාවක් සඳහා මැලේසියාව බලා පිටත්ව ගොස් තිබුණේ මීට වසරකුත් මාස හතකට පෙරාතුවය. එහෙත් කොවිඩ් ව්‍යසනය හේතුවෙන් සුපුරුදු පරිදි රැකියා කටයුතු සිදුකරගැනීමට නොහැකි නිසා ආපසු දෙමසකට පසු මෙරටට පැමිණීමට ඇයට සිදුවී තිබේ. ඉන් අනතුරුව පිරිසුදු කරන්නියක් ලෙස සේවය කිරීම සඳහා නැවැත මැලේසියාව බලා යෑමට ඇය අවස්ථාව උදාකරගන්නේ එරට පිරිසුදු කිරීමේ කටයුතු භාර ආයතනයක් පවත්වාගෙන යන ලහිරු නම් පුද්ගලයකුගේ උපකාරයෙනි.

මට පුළුවන් කාලේ හම්බකරලා මගේ දුවලා දෙන්නට කන්න බොන්න දීලා පුළුවන් විදියට ඉගැන්නුවා. පුට් සයිකලේ ඉන්දගෙන කෙල්ලව ඉස්කෝලේ එක්කගෙන ගියේ මේ ඊයේ පෙරේදා වාගේ. අපි වයසට ගියාම මගේ දුව බොහෝම අමාරුවෙන් හම්බකරලා අපි හැමෝවම බලාගත්තේ. අම්මටයි තාත්තටයි දැන් මහන්සිවෙලා වැඩකරන්න හොඳ නැහැ, ඒ නිසා මම රට ගිහින් කීයක්හරි හොයලා එවන්නම් කියලයි දුව රට ගියේ. දරුවෝ දෙන්නටත් උගන්වගෙන මේ නරාවළෙන් ගොඩ එයි කියලා අපි දුව ගැන ගොඩාක් බලාපොරොත්තු තියාගෙන හිටියේ. ඒත් ඒ හැමදේම එක රැයකින් නැතිවෙලා ගියා. දුවට ඇත්තටම මොකක්ද වුණේ කියන එක අපිට අබිරහසක්.” යැයි පවසමින් හඬාවැටුණු ටී. දයාරත්න සිල්වා මහතා පැවැසුවේය.

චතුරිකා මියගිය බව පැවසුණද ඒ හා සම්බන්ධ තොරතුරු කිසිවක් ඉදිරිපත් නොවීම හා ඇගේ දේහය ලබාදීමට පමාවීම යන කරුණු මවුපියන්ගේ සැකය තව තවත් වර්ධනය කරන්නට හේතුවී තිබේ. එමෙන්ම මෙරට වගකිවයුතු ආයතන මේ සම්බන්ධයෙන් වගකීම් විරහිතව අලස ප්‍රතිචාර දැක්වීමේ තත්ත්වයක් අනුගමනය කිරීම චතුරිකාගේ දේහය මෙරටට ගෙන්වාගැනීම සහ මරණයේ නීත්‍යනුකූල තොරතුරු අනාවරණය ප්‍රමාද වීමට හේතුවී ඇත. තම එකම සහෝදරියගේ අකල් මරණය සම්බන්ධයෙන් චතුරිකාගේ සහෝදරිය වූ චමාලි ප්‍රබෝධිකා මෙලෙස අදහස් දැක්වූවාය.

“අක්කා නැතිවුණා කියලා දැනගත්ත වෙලාවේම අපි අලුත්ගම පොලිසියට ගියා පැමිණිල්ලක් දාන්න. ඒත් පොලිසිය අපේ පැමිණිල්ල භාරගන්න බැහැ කිව්වා.ඊට පස්සේ අපි විදේශ සේවා නියුක්කි කාර්යාංශයට ගියා. ඊට පස්සේ මැලේසියානු තානාපති කාර්යාලයට ගියා. ඒ හැමතැනකටම පැමිණිලි කරලා දැනට මාසයක් වෙනවා. ඒත් තවමත් අක්කාගේ මරණය ගැන හරි තොරතුරක්වත් අක්කාගේ මිනිය ලංකාවට ගේන එක ගැන තොරතුරක්වත් ලැබිලා නැහැ. අක්කාගේ මිනිය ලංකාවට ගේන්න මැලේසියානු රජයෙන් රුපියල් ලක්ෂ තුනහමාරක් ඉල්ලනවා කියලා ලහිරු කියන කෙනා කිව්වා. සියදිවි හානිකර ගත්තාද? නැත්නම් අක්කාව කවුරුහරි මැරුවාද? කියලා අපිට සැකයක් තියෙනවා.”

චතුරිකාගේ මරණය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බැවින් ඉන් අනතුරුව දේහය මෙරටට ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඇගේ මවුපියන්ට පවසා තිබේ. එකී පිළිතුර ලබාදී පුරා මසක් සම්පූර්ණ වන මේ මොහොතේදීත් නැවැත නැවත විමසා සිටියද ඔවුන්ගේ පිළිතුරෙහි දියණියගේ දේහය සම්බන්ධයෙන් මවුපියන්ට සුළු බලාපොරොත්තුවක් තබාගැනීමට තරම් හෝ අන්තර්ගතයක් නොවීම කනගාටුවට කරුණකි. එමෙන්ම මෙරට මැලේසියානු තානාපති කාර්යාලය සහ මැලේසියාවේ පිහිටි ශ්‍රී  ලංකා තානාපති කාර්යාලය මේ වනතුරුත් චතුරිකාගේ මරණය සම්බන්ධයෙන් ඍජු මැදිහත්වීමක් නොදක්වන බව ඇගේ මවුපියන් පවසයි.

 583 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply