ආගමික අන්තවාදය ගැන සියලු රාජ්‍යයන් සුපරික්ෂාකාරී විය යුතුයි!

නැවත වරක් බෙදුම්වාදයක් ශ්‍රී ලංකාවේ ඇති නොවන බවට තමාට සහතික විය හැකි වුවත් ආගමික අන්තවාදය පිළිබඳව රජයක් ලෙස ශ්‍රී ලංකාව සේම සෙසු රාජ්‍යයන්ද සුපරික්ෂාකාරී විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එක්සත් ජාතීන්ගේ මහලේකම් හමුවේ අවධාරණය කර ඇත.

ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගෙන සිටි බොහෝ තරුණයන් තමා බලයට පැමිණි පසු නිදහස් කළ බවත් නිදහස් කළ නොහැකි සෙසු පිරිස සම්බන්ධයෙන් නීතිමය කටයුතු කඩිනමින් සිදුකරන බවත්, දිගු කලක් අත්අඩංගුවේ පසුවන ද්‍රවිඩ තරුණයන් පිළිබඳව නීති කෘත්‍ය අවසන් වූ පසු දීර්ඝ කාලයක් ඔවුන් අත්අඩංගුවේ සිටීම සැලකිල්ලට ගෙන එම පිරිසට ජනාධිපති සමාව ලබාදීමට තමා නොපැකිළෙන බවත් ජනාධිපතිවරයා මහලේකම්වරයා සමඟ පවසා ඇත.

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටලු රටේ අභ්‍යන්තර යාන්ත්‍රණයක් ඔස්සේ විසඳාගත යුතු බවත්, ඒ සඳහා ද්‍රවිඩ ඩයස්පෝරාවට සාකච්ඡා සඳහා ඇරයුම් කරන බවත් ජනාධිපතිවරයා පවසා ඇත.

නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ජනාධිපතිවරයා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා අතර පෙරේදා (19දා) පැවැති විශේෂ හමුවේදී ඔහු මේ බව සඳහන් කළේය.

වින්දිතයන්ට වන්දි ගෙවීම, ඉඩම් නැවත පවරාදීම හා 2009 වසරේදී මහින්ද රාජපක්ෂ මහතාගේ මඟපෙන්වීම යටතේ උතුරු නැඟෙනහිර පළාතේ කළ විශාල සංවර්ධන කටයුතු හා උතුරු පළාත් සභාව සඳහා ප්‍රජාතන්ත්‍රවාදීව නියෝජිතයන් තෝරා ගැනීමට අවස්ථාව හිමිකරදීම පිළිබඳව ජනාධිපතිවරයා කරුණු පැහැදිලි කර ඇත.

2019 වසරේදී ජනාධිපති ධුරයට පත්වූ තමන් ජනතාවට දුන් පොරොන්දු ඒ අයුරින්ම ඉටු කිරීමට කොවිඩ් වසංගතය විශාල බාධාවක් වූ බව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත. එම තත්ත්වය හමුවේ වුවද වසර 30කට අධික කාලයක් පැවැති ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු ඇති වූ අතුරු ප්‍රතිඵල විසඳා ගැනීමට ගත් පියවර ජනාධිපතිවරයා සවිස්තරාත්මකව පැහැදිලි කර තිබේ.

අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳව රජය විසින් ගතයුතු පියවර හැකි ඉක්මනින් ගන්නා බව හා මරණ සහතික නිකුත් කිරීම වැනි කටයුතු කඩිනම් කරන බව ජනාධිපතිවරයා මහලේකම්වරයා සමඟ පවසා ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත්ව ස්ථාපනය කිරීම තම අරමුණ බවත්, ඒ අනුව උද්ඝෝෂණ ආදියට පෙරදී කළා මෙන් බැටන් ප්‍රහාර, ජල ප්‍රහාර එල්ල කිරීම වැනි දේ තම රජය යටතේ සිදු නොවන බවත්, උද්ඝෝෂකයන් සඳහාම තම කාර්යාලය අසල වෙනම ස්ථානයක් වෙන් කර දුන් බවත් ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

ජාතීන් අතර සමඟිය වර්ධනය කර ගනිමින් ඉදිරියට ගමන් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපරිම සහාය ඉතා ධනාත්මකව ශ්‍රී ලංකාවට ලබාදෙන බව එහි මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් Š (Antonio Guterres) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ පවසා ඇත.

එක්සත් ජාතීන්ගේ මූලස්ථානයට පැමිණි ජනාධිපතිවරයා උණුසුම් අයුරින් පිළිගත් ගුටරේස්, 1978 වසරේදී අන්තර් පාර්ලිමේන්තු සංගමය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට පැමිණි තමන් මහනුවර, අනුරාධපුරය, පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවල කළ සංචාරයන් හා ශ්‍රී ලංකාව පිළිබඳව ඇති සුන්දර මතකයද අවදි කර තිබේ.

එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහකොමසාරිස් ලෙස ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වැඩ කිරීම හා 2006 වසරේදී එවකට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හමුවූ අවස්ථාව පිළිබඳවත් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් මෙහිදී සිහිපත් කර ඇත.

වසර 30කට ආසන්න කාලයක් පැවැති ගැටුම්කාරී බව නිසා ඉතා සංකීර්ණ තත්ත්වයකට වැටීමට සිදුවුවත් ඉන්දියන් සාගර කලාපයේ විශාල සමාජ හා ආර්ථික කර්තව්‍යයක් ඉටුකරන ශ්‍රී ලංකාව තුළින් ඉදිරියටත් එය අපේක්ෂා කරන බව මහලේකම්වරයා සඳහන් කර ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා සමග සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබීම සතුටට කරුණක් බව පැවසූ ජනාධිපතිවරයා, ලෝකය මුහුණ දී සිටින ඉතා අසීරු කාලපරිච්ඡේදයක එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙහෙයවීම පිළිබඳව සහ දෙවැනි වරටත් මහලේකම් ධුරයට පත්වීම පිළිබඳව සිය සුභාශිංසන ඔහු වෙත පිරිනමා ඇත.

කුඩා ආර්ථිකයක් ඇති ශ්‍රී ලංකාව වැනි රටක් කොවිඩ් වසංගතය හමුවේ මුහුණ දෙන අභියෝග පිළිබඳව ජනාධිපති රාජපක්ෂ, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා දැනුවත් කර ඇත. කොවිඩ් වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට සහ ආර්ථිකයට එල්ල වී ඇති දැඩි බලපෑම පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු ගෙනහැර දැක්වූ ජනාධිපතිවරයා ලෝක සෞඛ්‍ය සංවිධානය වසංගතයට සාර්ථකව මුහුණදීමට දෙන සහාය ඇගැයීමට ලක් කර ඇත.

මේ වන විට සමස්ත ජනගහනයෙන් අඩකට වැඩි පිරිස පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දුන් අතර, නොවැම්බර් මස අවසන් වීමට පෙර වයස අවුරුදු 15ට වැඩි සියලු දෙනා පූර්ණ එන්නත්කරණයට භාජන කිරීමට සියලු කටයුතු සැලසුම් කර ඇතැයිද සංඛ්‍යාලේඛන සහිතව පෙන්වා දී ඇත.

 300 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply