මත්පැන්හල් වැසීමෙන් රජයට කෝටි 8,000ක් පාඩුයි!

මත්පැන් බෝතලයකින් රුපියල් 955ක මුදලක් බදු වශයෙන් රජයට ලැබෙන බවත්, ඉකුත් නිරෝධායන ඇඳිරි නීතියත් සමඟ මත්පැන්හල් වසා දැමීම නිසා රුපියල් කෝටි 2,000කට ආසන්න බදු මුදලක් රජයට අහිමි වූ බවත් සමස්ත ලංකා සුරාබදු සංගමය පවසයි.

එමෙන්ම මෙරට මත්පැන් නිෂ්පාදකයන් සියලුදෙනා දේශීය ව්‍යාපාරිකයන් බවත්, ඒ නිසා මෙරට මුදල් විදේශ රටකට ගලා නොයන බවත් එම සංගමය කියයි.

මෙරට මත්පැන් වෙළෙදාමේ මාෆියාවක් ක්‍රියාත්මක වන බවද, ඊට හේතුව වී ඇත්තේ සීමිත පිරිසකට මත්පැන් බලපත්‍ර ලබාදීම බවද සමස්ත ලංකා සුරාබදු සැරයන් හා නියාමක සංගමයේ සභාපති ඩබ්ලිව්.එල්.ඩී. විජේසේකර මහතා කීය.

එමෙන්ම මත්පැන් මිල අධික වීමත් මත්පැන්හල් වසා දැමීමත් හේතුකොට ගෙන මත්පැන් බෝතලයක මිල දෙගුණ තෙගුණ වී අධික මිලකට අලෙවි වීමත් නිසා බොහෝ පිරිස් විස මත්පැන් පානයට විශාල වශයෙන් ඇබ්බැහි වී ඇති බව දකින්නට ලැබෙන බවත් ඒ මහතා කීවේය.

මේ කාලසීමාව තුළ පමණක් මේ වනවිට විස මත්පැන් වැටලීම් 8000ක් පමණ සුරාබදු දෙපාර්තමේන්තුවෙන් පමණක් සිදුකිරීම තුළින් එය මනාව පැහැදිලි වන බවද විජේසේකර මහතා සඳහන් කළේය.

මත්පැන් නීතිගත කර ඇත්නම් රටේ ජනතාවට මත්පැන් බීමේ අයිතියක් ඇති බවත්, මත්පැන්හල් ආශ්‍රිතව “පොකුරු” ඇති නොවීමට මෙවන් නිරෝධායන කාලසීමාවන් තුළදී ඔන්ලයින් ක්‍රමයට හෝ වෙනත් සුදුසු ක්‍රමයකට මත්පැන් අලෙවිය සිදුකිරීමට රජයේ අවධානය යොමුවිය යුතු බවත්, සමස්ත ලංකා සුරාබදු සැරයන් හා නියාමක සංගමයේ සභාපති හා රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ උප සභාපති ඩබ්ලිව්.එල්.ඩී. විජේසේකර මහතා අවධාරණය කළේය.

 332 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply